19 December, 2016

නැනීවරුන් උවමනාකර තිබේ - Wanted nanies


‘නැනී’ නොහොත් ළමයින් බලාගන්නා යන තනතුර ලොවෙහි කථාබහට ලක්වන්නේ දහනමවන සියවස අගභාගයේ සහ විසිවන සියවස මුලභාගයේදීය. එකල එම තනතුර හැඳින්වූයේ ‘නර්ස්’ යන නමිනි. ඔවුන් බොහෝවිට නිවසේ දරුවන් රැකබලාගැනීම සිදුකළ අතර, අනෙකුත් නිවසේ වැඩකරන්නන්ට වඩා මොවුන් උසස් කොට සැලකූහ. ඔවුන්ට වැඩි වරප්‍රසාද පවා ලබාදෙන ලදී.
මුලාරම්භයේදී ලද මේ සැලකුම් කරණකොටගෙන පසුව වෙනස්වූ නැනී තනතුරටද නර්ස් ලද වරප්‍රසාද සියල්ලම ලබාදෙන ලද අතර, බොහෝවිට නිවසේ ස්වාමිදියනියගේ යෙහෙලියගේ තත්වයට ඔවුන් පත්වූයේ නිතැතිනි. මෙම නැනී තනතුර ලද්දියන් නිවසේ බොහෝකලක් සේවය කළ අතර, සමහර කාන්තාවන් එකම නිවසේ පරම්පරා කිහිපයක දරුවන් රැකබලාගැනීමද කළහ. ඔවුන්ටම වෙන්වූ නිවාස පවා එකල ගොඩ නගන ලදී.

යටත් විජිත සමාජයේදී නැනී තනතුර බොහෝ උසස් ලෙස සැලකුම් ලැබූ අතර, ඔවුන් අදාල නිවස්නයේ ළමයින්ගේ සියලු කටයුතු සොයාබලා කටයුතු කළ අතර, එයට අධ්‍යාපන කටයුතු පවා ඇතුලත් විය. සාහිත්‍ය ග්‍රන්ථවල නිරන්තරයෙන් සඳහන් වන මෙම නැනී තනතුර බොහෝ ස්ථානවල බලසම්පන්නව ඉස්මතු කොට ඇති අතර, එම චරිත පවුලේ සාමාන්‍ය කටයුතුවලට පවා අතපොවා ඇති බවටද සාක්ෂි ඇත. පසුකාලයේදී මෙම නැනී තනතුර ක්‍රමයෙන් සමාජයෙන් වියැකී ගිය අතර ඒ වෙනුවට පාසල්වල ස්ථාපනය කරන ලද නේවාසිකාගාර ක්‍රමය ජනප්‍රිය විය.
එහෙත් වර්තමානය වනවිට කාන්තාවන් රැකියාවන් කරා විශාල ලෙස යොමුවීමත්, පවුලේ මුල්පුරුක්වලින් වෙන්ව ජීවත්වීම ඇරඹීමත් සමඟම ළමුන් රැකබලාගැනීමේ ගැටළුව දැන් දැන් බහුලව දැකිය හැකිවෙයි. නිවසේ කටයුතු සඳහා නවීම උපාංගවල පිහිට ලද්දත්, ළමුන් රැකබලාගැනීම සඳහා එවන් විධිමත් ක්‍රමයක් නොමැතිවීම පොදු කාන්තා ගැටළුවක්ව තිබේ. දිවා සුරැකුම් මධ්‍යස්ථාන කොතරම් තිබුණද ඒවා මත විස්වාසය තැබීමට බොහෝ කාන්තාවන් මැලි වන්නේ එම සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පවතින කුහුල් බව නිසාවෙනි. එබැවින් නැවත නැනී තනතුර සඳහා විශාල ඉල්ලුමක් ඇතිවෙමින් පවතී. එහෙත් ගැටළුව වන්නේ එම තනතුර භාරගැනීම සඳහා සුදුස්සන්ගේ පවතින අඩුපාඩුවයි.
එයට බලපානා කාරණා කිපයක්ද වෙයි. නිවසක ළමුන් බලාගැනීම යටත් විජිත සමාජයේ මෙන් නොව වර්තමාන සමාජයේ හීනමානයක් සේ සැලකීම ඉන් ප්‍රධාන හේතුවකි. එසේම ගෘහ සේවිකා තනතුරු සඳහා අඩු වැටුපකට වුවද මෙරටින් පිටවීමට කාන්තාවන් රුචිකත්වයක් දක්වති. එහෙත් සැබෑ තත්වය අවබෝධකර නොගැනීම හේතුවෙන් මෙරට කාන්තාවන් ඉතාමත් ඛේදනීය ඉරනම්වලට ගොදුරුවෙති. බොහොමයක් ගෘහසේවිකාවන්ට ගෙවනු ලබන්නේ රුපියල් 35000 තරමේ මාසික වැටුපක් වන අතර, නොමිලයේ ලබාදෙන (උසස්) ආහාරපාන සහ තවත් සුළු සුළු ද්‍රව්‍යවලට අමතරව වෙනත් කිසිවක් නොලැබෙයි. මේ කාන්තාවන්ට තම දූ දරුවන් දැකගැනීමට නොහැකිවන අතර, නිවෙස්වල දු දරුවන්ගේ ගැටළු මෙන්ම ස්වාමිපුරුෂයන්ගේ ගැටළුද ඔවුන්ගේ ජීවිතවලට නිතැතින්ම එකතුවෙයි. මීට අමතරව ලිංගික අඩත්තේට්ටම් සහ ශාරීරික වධහිංසාවලටද ඔවුහු මුහුණ දෙති.
මෙම කාන්තාවන් නැනීවරුන් ලෙස මෙරටම සේවයේ පිහිටුවීමට නිවැරදි වැඩපිළිවෙලක් ලබාදෙන්නේනම්, මාසික වේතනය 15000ක් 20000 පමණ ලබා ගත්තද ඔවුන්ට ලැබෙන මානසික සහනය කොතරම් වනු ඇත්ද? හදිසියකදී තම පවුලේ කටයුතු වෙනුවෙන් යාමට ඊමට පහසුකම ඇතිමුත්, තමන්ගේම රටේ මිනිසුන්වෙනුවෙන් වැඩකිරීම තුළින් තෘප්තියක් නොලැබීමට තරම් මෙරට රැකියා ක්ෂේත්‍රයට කුල මානයක් පැමිණ තිබෙන්නේ ඇයි?
May 2016

No comments:

Post a Comment