19 December, 2016

යල් පනින ජීවන සුවඳ - geriatric life styles


මග තොටේ ඇවිදිද්දි දන්නා අඳුරණ සුවඳවල් පස්සේ ඉව වැටිලා අතීත සිදුවීම් එක්ක ගවු ගනන් දුර ගිය අවස්ථා මගේ ජීවිතේ ඕන තරං තියෙනවා. ආවෙ කොහෙන්ද කියල හොයා ගන්න බැරිව හතර අතේ කැරකෙනවා. ඒවා ජීවිතේට එන සුන්දර අහම්බයන්. ආපහු ජීවිතේ ගැන නැවතිලා හිතන්න නිකම්ම පොළඹවනවා. සමහරවෙලාවට හදිස්සියේ කඩා වදින ඒ සුවඳවල් අපිව අල්ලලා පොළොවෙ ගහනවා.
ඉර අවුවට මහ පොළව පිච්චුණාම පස් දූවිලි වෙලා යනවා. ඒත් අල්ලන පලවෙනි වැහි පොදෙන් පස්සෙ පිච්චුන මහපොළොවෙන් එන නැවුම් සුවඳ මොන තරම් ආස්වාදජනකද? ඒ සුවඳ හැමදාමත් හිතට එකතු කරන්නේ සතුටක්. වැහි බිංදු හන්දා පණගහල එන ගස් කොළන් වගේම. අපි මොනතරම් වතුර දැම්මත් ඔහේ බිම බලාන ඉන්න කොළ, වැහි බිංදුවක් වැටුණ සැනින් දනි පණිගාල නැගිටල එනව. සුන්දර වෙනසක් පරිසරය පුරාම ඇති කරනව මහා පුදුමාකාර විදිහට.
කුඹුරක් හානකොට පෝරු ගානකොට එන මඩ සුවඳ නාහෙ ඇකිලුවත්, පැළ ගොයමෙන් එන සුවඳ හිතේ බලාපොරොත්තු ඇති කරනවා. උදේ පාන්දර ඒ අමුතු සුවඳ හරියට අලුත උපන් දරුවෙකුගෙන් එන කිරි සුවඳ වගෙයි. හිනාවක් ඇඳිලා යනව කිසිම කිසි හේතුවක් නැතුවම.
යෞවනයත් එක්ක එන තරුණ සුවඳ පරද්දන්න කිසිම පර්ෆියුම් එකකට තාමත් බැරි උණා කියලයි මට නං හිතෙන්නෙ. ඒක හරියට කිරිවැදුණු කුඹුරකින්, නාහෙ කඩාගෙන ඇවිදින්, හද නහර පිනා යන සුවඳ හා සමානයි. කාලෙත් එක්ක ඇතිවෙලා කාලෙත් එක්කම අපූරුවට නැතිවෙලා යනවා හැබැයි ඒ සුවඳ. ආවෙ කවද්ද නැතිවුණේ කවද්ද කියලවත් නිච්චි නැතුවම. බොහොම ජරා විදිහට.
අන්තිමට ශරීර කූඩුවෙන් එන්නෙ නාකි ගඳ. කොච්චර හේදුවත් මැරෙනතුරු අරින්න බැරි ඒ ගඳ. ඒක හරියට ඉපනැල්ල ඉතිරි වුණ කුඹුරෙ කුයිලෙත් එක්ක හරියට ගැලපිලා යනවා. මන්ද, මගේ නාහෙ වැරුද්දක්ද කියලා. ‘ඒත් දැන් අපි ළඟ, කුකුල් කොටුවක් වගේ ගඳ යි’. ෆ්ලොරෙන්තිනෝ අරීසා එක්ක නිදි වැදුණු වැන්දඹු නසරත් එහෙම කිවුවෙ නිකම් නෙමෙයි හැබැයි. නාකි ගඳ හින්දම වෙන්නැති.

October 2016

No comments:

Post a Comment