අපේ අක්කයි මායි දෙවිදියක ඩබලක්නේ කෝමත් ඉතිං
ඒ ගැන මම හැමදාමත් කිවුවනේ.
හැබැයි අපි දෙන්නා ජාඩියට මූඩිය වෙලා හිටපු දවසුත් නැතුවාම නෙවෙයි.
මේ කථාව ඒවගේ ජාඩි මූඩි කාලේ වෙච්ච සංගෙදියක්.
අපි ඉන්නේ බොහොම ගමට වෙච්ච පරිසරේකනේ.
දැන්නං ගමේ පර්චස් දහයෙ, හතේ කෑලි අරං හුග හුග අය ඇවිලා ඉන්නවා තාප්ප ගහගෙන
ඒත් ඒ දවස්වල ඒම නෑ. රබර්වතු යාය, දං කැලේ, ගම මැද පංසල, නිහඩ පරිසරය
දුකේ බෑ මතක් වෙනකොට..
අපිට ඒ කාලේ පයිප් බෝන් වතුර තිවුනේ නෑ. අපි උන්න පැත්ත උස හංදා බඹ 9ක විතර ළිදකිං වතුර ඇද්දේ.
අම්මානම් කිවුවේ නාග ලෝකෙන්ලු අපි බොන්න වතුර ගේන්නේ කියලා
නිකංවත් ළිදට එඹුනොත් අම්ම කිවුවෙ
"උඹව ගන්න නම් මෙහේ මෙකෙක්වත් නෑ. මගදිම මැරේවි වැටෙන්ඩ කලිං.
මම එතෝට ගලක්දානව මේකට. වැහිල යන්ඩ"
අම්මට වතුර ඇදල එපා වෙලා වෙන්ඩැ එහෙම කියන්න ඇත්තේ
කොහොම උනත් දෙයියනේ කියලා මොන ඉඩෝරෙටත් අපිට වතුර වලින්නං අඩුවක් තිවුන්නෑ.
ඒත් අපි නෑවේ පංසලට අයිතිව තිවුන ළිදකිං.
වත්ත පංසලට අයිති උණාට, ළිද තිවුනේ පංසලට අල්ලපු වත්තේ. ඒත් කවුරුත් ඒකට කිවුවෙනං
පංසලේ ළිද කියලා
සිල්පර කොට තුනක් දාල හදල තිවුණ ළිදෙන් සදාකාලෙටම වතුර උතුරල පිටාර ගලාන ගියා.
වතුර නිල්කැටේ වගේ. හැංදෑවට, ළිං කෝඩුකාරයෙක් නෑවොතින් ඉතිං අනිත් දවසේ හෙම්බිරිස්සාව ෂුවර්.
ගමේ හිටිය පවුල් කීපෙම අය නෑවේ මේ ළිදෙන් තමා.
අපි කොලු කෙලි කුරුට්ටො කීප දෙනෙක් මේ ළිද අරක් අරගෙනම උන්නා.
අපි නාන්ඩ ආවම පලාතෙ එන්නෑ වෙන මොකෙක්වත්.
කෑ ගහල බෙරිහන්දීල, වතුර ගහගෙන, එතන එක විකාරයයි
එහෙමත් නැත්නං බාල්දියක්, එක්කෝ සබන් කෑල්ලක් ළිදට දමල
බුදු ගේමක් දීල කට්ටියම ඒක අරගෙන ළිද ළග වරුවක්ම ඉන්නවා.
මොලයක් තියෙන මෙලෝ මනුස්සයෙක් ඔතෙන්ට පනීවියැ.
මේ ආත බූත සෙට්ටෙක නැතිදාට අපි දෙන්නා අම්මව පෙරටු කරං තමා ළිදට යන්නේ
හරියට නිකං ලොං කපන්ඩ ගෙනියන බැටලුවො ඩබලක් වගේ
එතුමිය එක්ක නාන්ඩ යනවා කියන්නේ ඉතිං හම ගලෝගන්ඩ යනවා වගේ තමා
මුං දෙන්නා මාසෙකින් නාල නෑ වගේ කියලා
අම්මා ලොකු පොල් මුඩ්ඩක් අරගෙන අපි දෙන්නව හම ගහනවා.
අපේ ගැලවිල්ලට අපි නොයේක් හේතු ඇද බානවා අම්මට.
අතේ තුවාල, කකුලෙ තුවාල අරෙහේ රිදෙනවා මෙහේ රිදෙනවා. මොන.....
ඔය මොනා කිවුවත් අම්මානම් අපිට ගැලවීමත් දෙන්නේ නෑ.
මේ දවසෙත් අපි දෙන්නා හම ගලවාගැනීමේ කැමැත්තෙන් ළිදට යමින් උන්නා.
එදා අපි අලුත් සෙල්ලමක් පටං ගත්තා.
ඇස් දෙක වහගෙන ළිද ළගට යන්ඩ ඕනා.
වැටෙන හංදා අත්දෙක අල්ලන්න පුලුවන්. හැබැයි ඇස්නං අරින්න බෑ.
මේ අලුත් සෙල්ලම හිංදා අම්මා පිටිපස්සෙං. අපි දෙන්නා ඉස්සරහින් තමා එදා ගියේ.
අපේ ගේ පහුවෙලා පාර දිගේ එන්නෝනෙ ළිදට.
එක පැත්තකින් පංසල් වත්තත්, අනිත් පැත්තෙන් තව වත්තකුත් මැදින් තමා පාර තිවුනේ.
පාර ටිකක් පාතින් තිබුනේ. ඒ නිසා පාර දෙපැත්තෙ ලොකු කණ්ඩි දෙකක්ම තිවුණා.
දැං අපි දෙන්නා හයියෙන් හිනාවෙවී ඒ අස්සේ අතිනුත් අල්ලං පල්ලං බහිනවා.
ටික දුරක් ගියා...........................
එකපාරටම අක්කා මර ලතෝනි දිල කෑ ගැහුවා. යකේක් යකේක් යකේක්................
ඒ යක් සද්දෙට මොකවත් නොවුනත්, මොකුත් නෙපෙනුන මාත් යටි ගිරියෙන් කෑ ගැහුවා.
අම්මත් දුවගෙන ආවා. අල්ලපු වත්තේ නැංදාත් දුවගෙන ආව
කෝ මොකුවත් නෑ. දෙන්නම හොදින්
ඒත් අක්කානම් සුදුමැලිවෙලා උන්නා හරියට හොල්මනක් දැක්කා වගේ
අම්මා වට පිට බලලා ළග උන්න නැංදාට අලි කබරයෙක් පෙන්නුවා කණ්ඩියේ එල්ලිලා උන්න.
ඒකෙන් අම්මා තේරුං ගන්න ඇති මොකාද යකා කියලා අක්කට වැහුන.
ළිද ලගට ගිය අම්මා අක්කව හොදට බැලුවා. එහේ මෙහේ අවුස්සලා ගවුම් කෑල්ල.
අප්පොච්චියේ කෙල්ල ඉවරයි. හැබෑටම යකා ගහල වගේ තමා
මාත් බැලුව අක්කගෙ කොහාටද යකා ගහල තියෙන්නෙ කියලා
බැලින්නම් අක්කගෙ වම් උර ඉස්සෙ ළග ඉදං දකුණු ඉගටිය දිහාටම ලොකු රතුපාට පාරවල් හුගක් ඇදිලා
හරියට පාට පාට සාරි පොටක් දාල වගේ.
ඒවා මොහොතින් දම්පාටට හැරිලා නිල් වේගන ආවා
ගොදුරක් ගිලලා උන්න කබරයා අපි දෙන්නාගේ කැකිරි පැලිල්ලට කලබල වෙලා
උගේ පත්තෙන් අක්කාට ඇද බාලා (පත්ත කියන්නේ වලිගෙට ඕන්)
"ඕක පපුව දිහාට වැදුනානම් බොහෝම බරපතලයි" වටේ උන්න අය කිවුවා
අක්කගේනං කට ඇදවෙලා. නිකමටවත් අඩන්නෙ නැති ඇස්වලට තඩි කදුලුබිංදු දෙකක් ඇවිල්ල.
ඒකෙන් මේකෙන් එදානං මම හම ගලවාගන්නේනැතුව නාල ආවා.
අක්කාගෙනං යාන්තං කෑලි පහ හෝදපු අපේ අම්මා ගෙදර ඇරං ආවා.
කොත්තමල්ල බොන්ඩ දෙන්ඩ ඕනා නැත්තං උණ ගනීවි කිය කියා.
18th August 2014
No comments:
Post a Comment