අක්කත් මමත් හරියට පුවක් ගහයි කජු ගහයි වගේ තමා.
අවංකෙන්ම ඒ කාලේ කැත්තට පොල්ල වගේ කිවුවොත් හරියටම හරි.
උා මල් ගවුම්නම්,.................. මම කොටු ගවුම්
උා උපසාන්ත,....................... මට කිරිපණු ගාය
උාට තිවුනෙ දිග කෙස්වැටියක්,................. මගෙ කෙස් කොල්ලෙකුගෙ වගේ කපාදාල
එක රැල්ලක් පොඩි නොවෙන උගේ සුදු ගවුම සතියක් ඉස්කෝලෙ ඇන්දැකි එකදිගට
මගේ සුදු ගවුම දවසයි විසි කරන සයිස් ...........කොටින්ම කිවුවොත්
මාසයක් ගල් කඩපු මනුස්සගෙ ඇදුමක් වගෙම තමා ඉතිං හවස එන්නෙ
ඒ කාලේ මට ගස්නැග්ගම ඇතිවෙන හතර හංදි වෙවුලන ලෙඩේ තිබුණා දරුණු විදියට
බිම සෙල්ලං තමා වැඩිපුරම දැම්මේ....
ඒකටත් එක්ක අක්කකාරයා.
උා අවට සිරි නැරඹුවෙත් මොකක්හරි ගහක හිරි මුදුනේ ඉදං තමා. එහෙම නැත්තං වහලේ මුදුනෙ.
අපේ අම්මාගේ ප්‍රධාන රාජකාරිවලින් එකක් උනේ අපි දෙන්නාගේ පොරකුකුල් සංඩු මැදට පැනලා දෙන්නාව දෙපැත්තට විසි කිරීම
ඔය වැඩේ හැමදාම කෙරුවැහැකියැ අම්මට උනත්
ඉතිං වැඩේ එයාට ඇණයක් උන නිසාම පහු පහු වෙනකොට
එක්කෝ අපි දෙන්නටම තඩි බානවා....(කැකිල්ලේ නඩුවිභාග තිවුනෙ).
නැත්තං ඉතිං ඇති වෙන්ඩ ඇනකොටාගන්ඩ ඇරලා
කාමරේට දාල වහලා නෑහෙන දිහාකට මාරුවෙනවා. හැබැයි ඉතිං
දොර අරිනකොට අපි දෙන්නා ජාඩියට මූඩිය වගේ පෑහිලාත් ඉන්න දවසුත් තිවුණා.
ඔහොම ඉතිං කාලෙ ගෙවිල ගිහින්
දවසක අපි දෙන්නා මොකක්දෝ එහෙකට ගුස්ති අල්ලන්න ගත්තා ගජ රාමෙට.
මගේ වස්තු සම්භාරයක් උා බිම දානවා, උගේ වස්තු සම්බාරයක් මම ඉරනවා, ආයෙත් උා, ඊලගට මං.........
අම්මාගේ ඉවසීම කියන සීමාව දොඹේටම පැනලා ආවේ නැතැයි හස්ති රාජයා වගේ අපේ අහලට
අක්කා ඉතිං දඩි බිඩි ගාලා නැගපි අඹ ගහ මුදුනටම
මේ අසරණ මං බඩ ගාන්ඩ ගත්තා ඒ ගහටම වෙන කොරන්ඩ දෙයක් නැතිම කමට. නැග්ගෙත් මගට විතරයි.
අම්මා ලවුස්පීකර් සද්දෙන් අපිට ගහෙන් බහින්ඩ කියනවා. අපි නෑහුණා වගේ උන්න තැනම ඉන්නවා
"මම කෙක්ක ගේන්ඩද නැත්තං දෙන්නම ගහෙන් බහිනවද"
අම්මගේ සවුන්ඩ් එක ඒ තරම්ම නරක නිසාත්, කෙක්කෙ තියෙන කොක්කට අහු උනොත් වෙන්නේ මොකද කියලා දන්න නිසාත්, අක්කානම් ගහෙන් ලිස්සාලා මාරු වෙච්චි.
කොටියට වෙච්ච දේ මට උන බව අම්ම දන්න එකක්යෑ.
කෙක්ක ගෙනාවම කොක්කෙන් බේරෙන විදිය හිත හිතා
කොන්ද කුදු කොරං, හරි කකුල හොයනවා මං බැහැගන්ඩ.
අම්මා ගහ යට ඉදං තර්ජනේ
මගේ වෙලාව තමා වෙලාව....
මගේ ග්‍රහය උච්ච වෙලා, අම්මගේ ග්‍රහයා නීච වෙලා...ආවෙ නැතෑ මාතලී දිව්‍ය පුත්‍රයා වගේ තාත්ත එතෙන්ට
මොනා අහනවද එතුමා නොදන්නවැයි මගේ බැරි අමාරුකං
ඕන් ගෙනෙපි ඉනිමග
මාත් ඉතිං ලොක්කා වගේ අන්තිම පිඩියට ඉහල ඉදංම පැනලා...
බැහැපි ගහෙන් බිමට
මේ වෙච්ච නව නිංගිරාවෙන් බේරෙන්න හිතාන, ගත්ත අක්කගෙන් ටියුෂන්
උාත් යස ගුරා.. ඇග පුරාම ගුරුමුට්ටි
ගස් නගින්න ඉගැන්නුවට බහින්න නෙමෙයි කියා දුන්නේ නිකමටවත්......
ගස් නගින්න ඉගැන්නුවට බහින්න නෙමෙයි කියා දුන්නේ නිකමටවත්......
වැඩේ නරක් උනේ නෑ දෙයියනේ කියලා.
අන්තිමට අන්තිමට ගෙදර පොල්, කුරුම්බා රඔුටන් වගේම කොස් දෙලුත් බෑවේ
ගස් නැගීමේ සුපතල නම රැන්දූ මේ මං තමා.
(හැබැයි ඉතිං ගහෙන් බහින්න ඉනිමග කාටහරි ගේන්න වෙන එකත්,
ඒකට වරුවක් විතර යන බවත් දන්නෝ දනිති)
පොල්ගඩන්න ගහකට නැගපු වෙලාවක කකුල ලිස්සලා ඇගම බරුගහගෙන වැටුනයින් පස්සෙතමා
ඕන් මගේ ගස් නැගීම අවසන් උනේ.
17th July 2014
No comments:
Post a Comment