19 December, 2016

සිකුරාදා බයිසිකල් ගමන - Friday cycle ride

මේකත් පුංචි සංදියටම අදාල වෙන එකක් තමා ආයිබොවංට

මං පොඩිකාලෙ අපේ තාත්තට තිබුණා බයිසිකලයක්. පුස් බයිසිකලයක්
ඒ කාලෙ ඉතින් ලැගජ් එකක්, ඩයිනමෝවක් හෙම බයිසිකලේට නැතුව බෑ.
ඒ විතරයැ, ඒ රථය අපේ හයියට ගියාට ලයිසොන් කරන්නත් ඕනානේ
මගේ තාත්තට නිවාඩු තිබුනෙ ඒ කාලේ සිකුරාදට. ඒදා තමා දවස...
ඉතිං තාත්තා දෙයියනේ කියලා අපිව (අක්කවයි මාවයි) ගෙනියන්න එනවා ඉස්කෝලෙ ලගට.

ඒ දවස්වල මම බිංදුවෙ උන්න කාලේ (දැන් නේ මේ එක වසර තියෙන්නේ)
මගේ අක්ක තමා මගේ නිසි බලධාරියා.
ඉතිං මම ඉස්කෝලෙ ඇරිලා අක්කගේ පංතියේ දොර ළගට වෙලා පවු ගෙවනවා උාව අරිනකම්ම.
අක්කගේ ටීටර්ගේ හොදකම නිසාම මාව හැමදාම පංතිය ඇතුලට ගන්නවා (ඒකනේ මගේ මොලේ වැඩි)

ඔන්න ඉතින් තාත්තා එනවා ඉස්කෝලෙ අරිනකොටම.
අක්කා පිටිපස්සේ කකුල් දෙක දෙපැත්තට දමලා හරි බරි ගැහෙනවා
මං ඉස්සරහා. පැත්තටකට බර වෙලා වාඩි වෙලා.....
යනකම්ම ඉතිං පාරෙ තියෙන හැම බෝඩ් ලෑල්ලක්ම කියවනවා. බාගයක් කියවනකොට අක්ක පනිනවා
එතකොට අර සුපුරුදු වලිය එතනදීම පටන් ගන්නවා.
කංකරච්චලේ බැරිවෙනබව දන්න තාත්තානම් ඒ වලි බේරන්න සූරයා
යෝගට්, අයිස් ක්‍රීම්, පාට කූරු, චිත්‍ර පොත්, කටන්දර පොත් වගේ
මෙකී නොකී දාහක් දේවල් වලින් අපි දෙන්නා ඒ දවසේ පිරිලා යනවා.
සිකුරාද තමා හොදම දවස.....

අපේ ගේ තිවුනෙ ටිකක් උස තැනක. වටේම තිවුනේ රබර් යායක්. පුදුම හෙවනක් එක්ක හුළං එමට
වත්ත පුරා තිබුනේ දං කැලයක්. කොහිකිරිල්ලා, එරමිණියා, මාදං, වෙරලුත් එමට
තාත්තා අපිට හැංදෑවට රූනො හදල දුන්නා අරගෙන වත්තේ දුවන්න
නැත්නම් රබර් ඇට වලින් මොනාහරි දෙයක් හැදුවා.
එහෙමත් නැත්නම් අපිත් එක්ක වත්තේ බිම ඉදගෙන කටන්දර කිවුවා.
ඔයවගේ සුරංගනා දවසක් තමා සිකුරාද
ඒ හිංදා අපි දෙන්නා හැමදාමත් බලා උන්නේ සිකුරාද එනකම්ම දවස් ගැන ගැන.

සිකුරාදට ඉදල හිටල අපි දෙන්නට බෝනස් පාරකුත් වදිනවා ඒ දවස්වල
ඒ තමා හවසට බාබර් මාමා හමුවීමට යාම.
එ් කාලේ saloon තියා salon වත් තිවුනේ නෑ. පිරිමි විතරයි ඒවට ආවේ
ගෑණු පරාන කොණ්ඩා කැපුවේ නෑනේ, පොඩි ඈයන්ගේ මිසක්
ඒ මාමත් මෙලෝ රහක් නෑ. හැමදාමත්, හැමෝටම කැපුවේ එකම කට් එක තමා.
අන්තිමට දැලි පිහිය බෙල්ල වටේ රවුමක් ගෙනිහින් කන ගාවිනුත් ගෙනියනවා බාබර් මාම.
"හෙල්ලුනාද කන නෑ බබෝ" කියල පොඩි සත්තමකුත් එක්ක
බූන්දිවගේ හවසට හම්බෙන පැණි කෑමක් නිසා නොවෙයිනං කොණ්ඩෙ බිම ගෑවෙන්න වවලා අපි.

ඉතිං එදත් අපේ බාබර් හමුවීමක් කියමුකෝ.....
තාත්තා රබර් යායෙ හෙවන මැදින් පිම්මේ අපිව එක්කගෙන යනවා දැන් ටවුමට
පුරුදු විදියට අක්ක පිටිපස්සෙ මං ඉස්සරහ.
කන්ද උඩහ ඉදන් ආව වේගෙට (තාත්තා ඒකාලෙත් ඉලංදාරි වැඩ නවත්තල තිවුනෙ නෑ)
එකපාරමට මගේ කකුල ගියා රෝදෙ අස්සේ.
ඇද්දා ඇද්දා ම්හ් ..... ආවේ නෑ. තාත්තෙ කකුල... කකුල
තාත්තා බලන්නැති මොකද කියල මං දිහා
ඒත් එක්කම දඩ බඩාස් ගාල බයිසිකලේ රූනා කැරකුණා වගේ කැරකිලා අපිව විසිවෙලා ගියා.
කලබල වෙච්ච හරකෙක් පණකඩං දිවුව අකුල අස්සට
තාත්ත නැගිටලා දුවං ආව මගේ ළගට.
අපේ අක්කනම් කිසිගානක් නැතුව ගවුම දෙපැත්ත ගසාබසා දාල නැගිට්ට.
රෝදෙට කකුල අහුවෙලා නිසා දණිස්සෙන් පහල හිරිවැටිලා උන්න මට නැගිට ගන්න බැරි උණා.
ඒ අස්සෙ හැම තැනම තුවාල වෙලා

මගේ දිහා බලන්න ගිහින් තාත්ත දැකලා නෑ පාර හරහා ගිහින් උන්න හරකව
උගේ ලණුවෙ පැටලිලා අපි වැටිලා. පුටාර් එකටත් අලාබයි
 පැයක් බෙරිහන්දීල ඩිස්පැන්සරි මාමගෙන් බෙහෙත් දමාගෙන ගෙදර ආව. බාබර්ව බැලිල්ල පැත්තක දාල
මගේ පිනෙන් නොසෑහෙන්න පැණිකෑම අක්කාට ලැබුන.

කාලයගේ ඇවෑමෙන් සිකුරාද නිවාඩුව නැති උණා තාත්තට.
පුටාර් එක දං දුන්න
අපි දෙන්න ලොකු ස්ටාර්වෙලා වෙන ඉස්කෝලවලට ගියා.
රබර්වත්ත කොටස් කළා, ගස්ටික කුට්ටි කළා. දංගස් දරට ගියා
---------------------------------------------------------------------
25th July 2014

No comments:

Post a Comment