මම පුංචි කාලෙ අපේ ගමේ දෙමළ පවුලක් උන්නා. මුලු ගමම ඔවුන්ට විරුද්ධ වෙද්දි අපේ අම්මා ඔවුන් වෙනුවෙනුවෙන් කථා කළා. ඒ ගෙදරට ආවා ගියා. ඔවුන්ගේ දුකට පිහිට වුණා. කුඩා කාලෙ මං ඒ ගෙදර ගියා අම්ම එක්කල. ඒක වෙනම ලෝකයක්. ගෙදර කටුමැටි. කලුවරේට තිවුණ එක කාමරෙයි දීග සාල කෑල්ලයි පොඩි කුස්සි පොඩ්ඩකුයි විතරයි. බිම ගොම මැටි ගාල එක වැලි කැටයක් නැහැ. වහලෙ එල්ලපු සාරි තොටිල්ලෙ හෙළු කුටු අත දරුවෙක් එහෙට මෙහෙට නළවුණා. ඉනේ පබලු මාලෙකුත් නළලෙ තඩි පොට්ටුවකුත් තිබුණ ඒ ළමයව මට අද වගේ මතකයි. ඒ ගේ පුරා තිබුණෙ දෙමළ පුසුඹ. මරතොණ්ඩි ගාල බිම ගෑවෙන නොගෑවෙන්න තිබුණ කොණ්ඩෙ ගෙඩියට බැඳල සාරියක් ඇඳල උන්න දෙමළ ආච්චි අපිට මහා දයාවක් පෑව. ඈට තිබුණ හරි අගේ ඇති හිනාවක්. හතිය හැදිල අමාරුවෙන් හුස්ම ගද්දිත්, විට කාල රතු වුණු තොල් විහදල කට පුරා හිනාවෙද්දි ඒ හඬ දෝංකාර දුන්න. ගස් වල බැඳල තිබුණ කුකුළු ගෙවල් හැංදෑවට කුකුළන් එක්කම උඩ යනව බලන්න වගේම, ගෙදර ගෑණු වැඩිහිටි පිළිවෙලට දිග කොණ්ඩ ලෙහා දාල පෝලිමට එක එකාගෙ උකුණො බලන දකින්නත් මං ඒ කාලෙ හරි කැමතියි. දෙමළ ආච්චිගෙ කෑම පුසුඹ හැමදාම හුළඟට අපේ නාහවලට කඩා පැනල අපේ බඩ ගින්න වැඩි කළා.
ඉන්පස්සෙ දෙමළ කියන නාමයත් එක්ක මං උන්නෙ ඒ හැටි කැමැත්තකින් නෙමෙයි. ඒකට බොහොම පසු කථා තිබුණ හන්ද වෙන්නැති. කොහොමින් හරි මගේ උසස් පෙළ අධ්‍යාපනය මට මගේ දෙමළ යෙහෙලිය මුනුගැස්සුව. ඇගේ නම මතක නැතත් ඇගේ කලු උස දේහදාරී ශරීරෙත් කලුම කලු දිග තඩි කොණ්ඩෙත් මට හොඳට මතකයි. එයා යාපනේ දෙමළ. කළබල හන්ද එයාල කොළඹ ඇවිල්ල තිබුණෙ. එයාගේ ගේ කඩා වැටුණ හැටිත්, එහේ සතුටින් කල දවස ගෙවපු හැටිත්, අම්මගෙ සංගීත භාණ්ඩ කෑලි කැඩිල දකිද්දි අඬා වැටුණ හැටිත් එයා මට ඒ කාලෙ කිවුව. මං අහං උන්න.
මගේ පළවෙනි මුස්ලිම් යාලුව හම්බෙද්දි මට අවුරුදු 23ක්. ඔහු මගේ අතීසාර මිතුරෙක් වෙලා උන්නා. මාව ඉස්ඉස්සෙල්ලාම සයිවර කඩයකට ඇඳගෙන ගිහින් ඇල්මේනියං උස කෝප්පෙක දිග තේ එකක් බොන්න අවස්ථාව හදල දුන්නෙ ඔහු. මුස්ලිම් ජාතිකයන් කවුද, එයාලගෙ ජීවිතේ ගෙවෙන හැටි, රුචි අරුචිකම්, ආගමේ ඇත්ත ස්වරූපය විතරක් නෙමෙයි චාරිත්‍ර වාරිත්‍ර ගැන පවා තොරතුරු මගේ මිත්‍රය මා එක්ක හුවමාරු කරගත්තම. ඔහු අන්තවාදියෙක් නොවුණ වගේම මැදහත් සිතින් දේවල් දකින එ වගේම බොහොම විවෘත හදවතක් ඇත්තෙක්. දැන් පවුල් පන්සල් වෙලා ළඟ ඇසුරක් නැතත් අපි තාමත් හොඳ මිතුරන්.
පමා වෙලා ගෙදර යන්න වුණ දවස්වලට රෑ එන්න තිබුණ දෙමළ කෝච්චිය අප්‍රසන්න උනත්, සිකුරාද දවස්වලට පිට කොටුවෙ මුස්ලිම් වැඳිල්ල හන්ද අප්‍රසන්න උනත් මං ඔවුන්ගේ සමාගම හැමදාම ප්‍රිය කළා.
අද හමුවුණ මැදිවියේ දමිල මිත්‍රයා මට මගේ අතීත මිත්‍ර සමාගමයන් ආපහු මතක් කළා. ඔහු නැගහිර පළාතේ කෙන්යා පාලම ළඟ වෙසෙන්නෙක්. ඒ පලාතෙම එකම එක මනුස්සයෙක්වත් සිංහල කථා නොකළත් ඒ මිත්‍රයට කැඩිච්ච සිංහලෙන් යමක් කියාගන්න පුලුවන් වෙච්ච එක මොන තරං වාසනාවක්ද? ඒ අතින් මං හරිම දුප්පත්. මට දෙමළ වචන දෙක තුනකට වැඩිය බෑ මේ තරං කාලයක් දෙමළ යාලුවො ඇසුරු කරලත්. එහෙම උනානං තව කොයිතරං දේවල් කථා කරලා දැන ගන්න තිබුණද?
''මං නැගනහිරට කවදාවත් ගිහිං නැහැ. එහේ ලස්සනද?'' මං ඇහුවා.
''දවසක ඇවිත් යන්න එන්න. එහේ ගමට ගිහින් කාල ඉඳල බලල එන්න පුලුවන්''.
සිංහල මං මොනතරං කුහුකද කියල හිතුණ ඇත්තටම!!
''මං නැගනහිරට කවදාවත් ගිහිං නැහැ. එහේ ලස්සනද?'' මං ඇහුවා.
''දවසක ඇවිත් යන්න එන්න. එහේ ගමට ගිහින් කාල ඉඳල බලල එන්න පුලුවන්''.
සිංහල මං මොනතරං කුහුකද කියල හිතුණ ඇත්තටම!!
October 2016
No comments:
Post a Comment