19 December, 2016

සිනෙමා හෝල් ජාතකය - Story of cinema hall


මම කියා හඳුන්වන්නේ පුදුමාකාර සතෙක් නොවුනත්, වෙනත් කාන්තාවන්ට වඩා කරණ කියන දේවලින් මම තරමක් වෙනස් වූවෙකැයි නිතර අසන්නට ලැබුනත් එය මමම විස්වාස කරන තැනක බොහෝකල් සිටම හිඳිමි. එය කෙසේ පැමිණුනාදැයි හරිආකාරයටම නොදන්නා මුත් මොනයම් හේතුවක් මතහෝ මගේ ක්‍රියා කලාපයන් ගමටත් නගරයටත් අයිතිනොවන දෙකට දෙවාරණයේ විදියකැයි මා දෙස කලක පටන් හොඳින් අධ්‍යනය කරන්නෙකුට යහමින් දැනේ.

මගේ අම්මා හෝ තාත්තා කිසිදා මගේ නිදහසට දැඩි බාදක ඇතිකළ දෙමාපියෝ නොවූහ. එපා යන්නට වඩා යම් දෙයක නරක හෝ ප්‍රතිවිපාක පමණක් ඉතා සෙමෙන් අපට ජීර්ණය වන්නට දී අපගේ තීරණවලට ඉඩදී නිහඩවූහ. වැරදී අප හඬන විට අප කරා විත් අප සැනසීමට තරම් ඔවුන් පොහොසත්ව උන්හ. මෙසේ එපා නොකීවද විපාක හඳුන්වා තිබූ එක්දෙයක් ගැන මට ඉතා හොඳින් මතක තියේ. එනම්, පිරිමින් සමඟ චිත්‍රපට බැලීමට හෝල් ගානේ ඇවිදීමයි. මෙයනම් විහිළුවකැයි අදකාලයේ තරුණ උදවියට සිතුනද, එකල එය විහිළු සපයන්නක් නොවීනි. චිත්‍රපටයක් බැලීමට තනිපංගලමේ පිරිමියෙක් සමඟ ගිය විට සිදුවන්නේ ඔහුගේ සිරකරතැබූ යම්යම් සිතැඟි වලට අවනත වීමටත්, මහා සෙනඟක් මැද විලිලැජ්ජාවීමටත් බව මගේ තාත්තා බොහොම පරෙස්සම් වචනවලින් අපට කියා දී තිබුනි. මේ හේතුව නිසාම මම පිරිමින් සමඟ චිත්‍රපට නැරඹීම ස්වයංවාරණය කළේමි. එසේම බොහෝ කළක් යන තුරුම සිනමා හෝල් භීතිකාවක මම සිටියෙමි. සිය පවුල සමඟ චිත්‍රපටයක් බැලීමට ගිය අවස්ථාවක තම කමිසයේ බොත්තම් වැරදියට පියවූ යුවතියක් දැකීමෙන් මම තක්කුමුක්කු වූයේ මගේ තාත්තා කියූකථාව ඉහටත් උඩින් විස්වාස කරමිනි. ඊටත් එහා එම ගැහැණිය මට ආදේශකිරීම නිසා මට දැණුන නින්දාසහගත බවින් ගැලවීගැනීමට මට බොහෝකළක් ගතවිණි. මේ හේතුව නිසාම මට අවුරුදු 14ක්ව සිටිද්දී ඇරඹු පළමු පෙම ලප් තැනම ලොප්කරන්නට සිදුවිය. (මිනිහා ලව්කළාද නැද්ද යන්න වෙනම කථාකළ යුතු දිගුවකි).

මගේ සොයුරිය මට වඩා බොහෝ ඉදිරියෙන් සිටි අතර, ඇය ඇගේ පෙම්වතා සමඟ චිත්‍රපටයක් නැරඹීමට යද්දී මටද ආරාධනා කළාය. එහෙත් චිත්‍රපටය අවසානයේදී මට තාත්තා කියූ ආකාරයේ දෙයක් දැක ගැනීමට නොහැකි විය. එයට හේතුව චිත්‍රපට ශාලාව අතුරු සිදුරු නොමැතිව පිරුණු බැවිනුත් අපි බැල්කණි නොගිය බැවිනුත් බව පසක් වූයේ සෑහෙන කලක් ගතවීමෙනි. චිත්‍රපටය ජුරාසික්පාක්විය. එතැන් පටන් මගේ චිත්‍රපට භීතිකාව හීනව ගිය අතර එහි ඇති ගුප්ත රසය විඳීමේ ආශාවෙන් පෙළුනෙමි. එකම කොල්ලෙක්වත් ඒ වාසනාව ලබා නොගත් අතර කෙල්ලෝ බුරුතු පිටින් මා සමඟ හෝල් ගානේ ගියහ.

මගේ පළමු චිත්‍රපට අත්දැකීම සිදුවූයේ මම උසස් පෙළ කරන අවධියේ වූ අතර, එම පුරුෂයාට ගෙදරින් පූර්ණ අවසරය ලැබී තිබූ බැවින් මට කිසිදු අලකලංචියක් සිදු නොවූ අතර, නිරුපද්‍රිතව එළිබැස ආමි. දෙවැනි අද්දැකීම සිදුවන විට වයස 22 පසුව තිබිණි. කොලුවාගේ නම දැන් මතකයෙන් බොහෝ දුරස්ව තිබුණද ටක්කෙටම ඔහු ගම්පහ ප්‍රදේශයේ කෙනෙකැයි මට කිය හැකිය. ඒ චිත්‍රපට බැලිල්ල ඇඟිලි ගැසීමක් කරා දුරදිග ගිය අතර ගෙදර යනවිට මට දැණුන අප්‍රසන්නකම මෙතැකැයි කිව නොහැකිව තිබුනේ කවදත් මම ඉතා පිරිසිදුව ජීවත්වූ ගැහැණියක් වූ බැවිණි. නොසෝදා ඇඟට ඇතුල්කල ඇඟිලි නිසා දැවිල්ලක් හට ගෙන තිබූ අතර මට ඔක්කාරය දැනුනි. මේ හේතුව නිසා මම චිත්‍රපට හෝල් වලින් ඈතට ගියෙමි. මිතුරන් සමඟ හෝල් ගානේ ගියද එය චිත්‍රපට රසවිඳීමේ අනර්ඝ අවස්ථාවන් පමණක් කොට ගතිමි.

මට ආදරය ඉගැන්වූ මිනිසා මට හමුවී ටික කලකින් අපි චිත්‍රපටයක් බැලීමු. එය මාගේ ප්‍රථම බොක්ස් අත්දැකීම වූ අතර මම තිස්වියට කිට්ටුකර සිටියෙමි. එයනම් තරමක් එහා ගිය අද්දැකීමක් වූ අතර, චිත්‍රපටය අවසන මට ඔහුගේ මුහුණ බැලීමට නොහැකි තරම් අපහසුතාවයකින් පෙළුණෙමි. මහාමද්දහනේ පාරට පිනූ මම කාර්යාලට ගොස් විචිකිච්චාවෙන් දැගලුවෙමි. ඒ ලැබූ අපහසුතාවය නොසෑහෙන කලක් මගේ හිතේ හොල්මන් කළ අතර, ඉන් මිදීමට නොහැකිවූ කළ හිතින් අතැර දැමූවෙමි. වසර කීපයක පෙම් පළහිලවුවක් වූ එය අතරමැද චිත්‍රපට කීපයක් පසුකළ අතර මට උවමනා කළේ ආදරණියයෙක් සමඟ චිත්‍රපටයක් රසවිඳීමට උවද සෑමවිටම සිදුවූයේ අනෙකාගේ අවශ්‍යතාවලට වැට බැඳීම නිසා හිත් අමනාපයෙන් එළියට ඒමටය. කාමරයක සිදුවන දේවලින් බාගයක් චිත්‍රපට ශාලාවක සිදුකිරීමට උත්සාහ ගැනීමට යාමෙන් සහ ඒවා බලහත්කාරයෙන් නවතා දැමීමට යාම නිසා ඇතිවූ තරඟය නිසා මගේ ලැජ්ජාව ඉහවහා ගිය අතර නිතරම වාගේ මගේ තාත්තා කියූ දෙය නොඇසීම නිසා ඒ ගැන දුක්වීමි.  

එක්තරා සමයකදී මේ චිත්‍රපට නාටකය අවසන් විය. මම නැවත පිරිමියෙක් සමඟ චිත්‍රපට ශාලාවට ගියේ මහා වැස්සක් අවසානයේදීය. ඒ මීට අවුරුදු කීපයට පෙරය. එය සොඳුරු හමුවීමක් නොවූවද වෙන්වීම සොඳුරු විය. කලකට පසු ප්‍රේමණීය පුද්ගලයෙක් සමඟ චිත්‍රපටයක් නිදහසේ රසවිඳීමි. චිත්‍රපටයේ රූප රාමු මැදට රසවත් චුම්බනයන් එක් වුවද එය චිත්‍රපටයේ රසවින්දනයට බාධා වීමක් නොවීය.  

එහෙත්, මගේ සිතේ මේ මොහොත වනතුරුත් චිත්‍රපට ශාලා සහ පිරිමින් සම්බන්ධයෙන් සුභවාදී ආකල්පයක් නම් නැත්තේමය. කාමරයක් තුළ සිදුකරන්නාවූ දේවල් පිරිසක් මධ්‍යයේ සිදුකිරීම තුළින් ලබන සතුටක් මා කෙරේ නැත්තේමය. කොතරම් ඇඳිරි උවද ඇස් කොනින් බලන්නාවූ අනේක පිරිසට මේ සියල්ල නොපෙනෙන්නේ යැයි මා නොසිතමි. පිරිස අඩු චිත්‍රපට ශාලාවලට පැමිණෙන ජෝඩු මෙන්ම ඔවුන් දෙස බලාසිටින්නටම පැමිණෙන බීමත් තනි පුරුෂයෝද අපමණ සිටිත්. එදෙස බලා ඔවුන් ස්වයංවින්දනයේ යෙදෙනු පවා මා දැක් ඇත්තෙමි. මෙය මෙසේ  සිදුවන්නේනම්, තම අවශ්‍යතා සපුරාගැනුමට චිත්‍රපට ශාලාවට නොපැමිණ කාමරයක් සොයා නොයන්නේ මන්ද?

September 2016

No comments:

Post a Comment