19 December, 2016

පොත් ගුලාව - බුද්ධදේව බෝස් ගේ It rained all night




යමක් තහනමට ලක්වන විට එය අවශ්‍ය වූවා හෝ නැතා හෝ වේවා මිනිසුන් ඒ පසුපස හඹා යයි. ඉල්ලුම වැඩිවීම ඉබේ සිදුවෙයි. ඒ මිනිස් ගතියයි. එහි ගුණාත්මක බව පසෙකලා තහනමට ලක්වීමම අරමුණු කොටගෙන මිනිසුන්ට එය ලබා ගැනීමට මහත්සේ උවමනා වීම පුදුම සහගතය. එහෙත් පොදු මතය විවාදාපන්නය.

අසභ්‍ය තේමාවක් ඔස්සේ රචනා කරනු ලැබූවකැයි හේතු දක්වමින් 1967 වසරේදී ඉන්දියාවේ තහනමට ලක්වූ පොතකි It Rained All Night. බුද්ධ දේව බෝස් (1908-1974) නම්වූ බෙංගාලි රචකයා එහි හිමිකරුයි. පසුකාලයකදී තහනම ඉවත්කිරීමෙන් පසුව මෙම පොත උණුකැවුම් සේ විකිණී ගියේ වැඩිම අලෙවියක් සහිත කෘතියක් බවට පත්කරමිනි.

කථාව දිවෙන්නේ සාම්ප්‍රදායික පවුල් දිවියක් ගත කිරීමට පේවී හුන් මලෝති මුඛර්ජී නම් තරුණ කාන්තාව සහ පොත් කාවකු මෙන්ම අචාර්යවරයෙකුද වන ඇගේ සැමියා අන්ග්ශු අතරය. මධ්‍යම පාන්තික පවුල් සංස්ථාව තුළ ඇය බලාපොරොත්තු වන්නාවූ ආකාරයෙන් දේවල් සිදු නොවන විට ඇගේ සැමියාගේ ආකාරයට හැඩ ගැසෙයි. මලෝති අවසන සැමියාගේම මිතුරෙකු සමඟින් රහස් සබඳතාවයකට මුල පිරීමේ සිදුවීමෙන් කථාව ඇරඹෙයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇතිව තිබෙන තත්ත්වය දෙමහල්ලන්ගේ කෝණය තුලින් විග්‍රහ කිරීමය. මෙය මෙසේ කළ යුතුය තිබිණා හෝ ඔවු එයා කළේ හරි දේ තමා වැනි යෝජනාද මනසින් එකතු කරන්නට තරම් එම පවුල තුලට රිංගීමට පාඨකයාට දී ඇති ඉඩකඩ මන බඳනා සුළුය.

ගේ ගෙම්බෙකු ලෙසින් හැදී වැඩෙන අන්ග්ශු පොත් නිසා බහුශ්‍රැතයෙක් වුවද, තමා තුළ පවතින සාම්ප්‍රදායිකත්වය සහ සංස්කෘතික මිනිසා තම බිරියගෙන් සඟවයි. ඔහුට ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ සාම්ප්‍රදායික බිරිඳක් වුවත් ඔහු නඩත්තු කරමින් යන්නේ හාත්පසින්ම වෙනස්වූ සාමාජශීලි මිනිස් චරිතයකි. ආචාර්ය ධාර්මිකව හැදී වැඩුනාවූ මලෝති සිය සැමියාට පතිභක්තියෙන් පූර්ණ වූ බිරිඳක් වීමට උත්සාහ දරයි. එහෙත් ඇගේ මේ උත්සාහය නිර්දය ලෙස හෙලා දකින සැමියා, ඇගෙන් ඉල්ලා සිටිනුයේ සමාජශීලී බිරිඳගේ චරිතයයි. කලක් ගතවීමෙන් තම සිතැඟි සැමියාට අනුව වෙනස්කරගන්නා මලෝති සැමියාගේ මිතුරෙක් වන ජයන්තෝ සමඟින් රහස් සබඳතාවයක් ගෙන යයි. මෙය නිවසේ ප්‍රසිද්ධ රහසක් වන්නේ ජයන්තෝ විසින් නිවසේදී සැමියාගේ වගකීම් සියල්ල ඉටුකිරීමට නොපැකිලෙන බැවිනි. අන්ග්ශු යතාව අවබෝධ කරගන්නාවිට පවුල් සංස්ථාව බොහෝ සෙයින් දෙදෙරා ගොසින්ය. තම තමන්ගේ ආත්ම කථනයන් ගෙනහැර දක්වමින් අනෙකා සමතයකට පැමිනෙනතුරු අඹු සැමියෝ බලා සිටිති.

ආදරය සහ ලිංගිකත්වය විවාහ සංස්ථාව තුලදී හැසිරෙන ආකාරය විස්මයාර්ථව බෝස් දිග හරියි. කසාද සහතිකයෙන් අනෙකාගේ සිරුර පිළිබඳ ලබන සින්නකර අයිතියත් කාලයාගේ ඇවෑමෙන් හීනවී යන මෛථුනාශාවත් නිසා බොහොමයක් කුටුම්භවලට තෙවැන්නෙකුගේ ආගමනයකට ඉඩකඩ සාදයි. ඒ හේතුවෙන්ම උපදින ලිංගික ඉර්ෂ්‍යාව ඔවුනොවුන්ගේ සැබෑ ගැටළුව වටහා ගැනීමට අවස්ථාවද උදාකරයි. එහෙත් සැබෑ ලෙසින්ම ඉන් ප්‍රයෝජනයක් ගන්නෝ වෙත්ද? ගැටළුව නිරාකරණය කරගනිත්ද?

‘’මැදිවියේ පසුවන සැමියන් හා බිරින්දන් අඬදබර කරගන්නේ ඇයි? ඒ ඔවුන්ගේ සිරුරු මියගෝස් ඇති හෙයිනි. පළිගැනීම, සොබාදහමට එරෙහිව එකටෙක කිරීම. ප්‍රේමය යනු සජිවී, ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දෙයකි. ආදරය යනු ලිංගික සබඳතා හා බැඳුනකි. ශරීරය නොමැති ආදරය යනු හිස්දෙයකි. හරියට විදුලිය වැනිය. විදුලි සබඳතාවක් වැනිය-දෙදෙනෙකු අතර කායික ප්‍රේමය. සිරුරක් තවත් සිරුරක් හා සම්බන්ධ වන විටම විදුලි සබඳතාවක් හටගනියි. එහෙයින් ඔබ ප්‍රේම නොකරන විට දී පවා එහි ප්‍රේමය පවතියි. එය අඛණ්ඩව නුඹේ නහර තුළින් දිවයයි. සමීපතාව මිහිරි වනුයේ එහෙයිනි. වෙන්වීම මිහිරි වනුයේ එහෙයිනි. අඬදබර මිහිරි වනුයේ එහෙයිනි. දරබරයකින් පසුව යළි හාදවීම වඩාත් මිහිරි වනුයේ එහෙයිනි. ඒ සියල්ලටම හේතුව ශරීරයයි’’.
අන්ග්ශු  තම සිතැඟි එසේ පවසද්දී මලෝති මෙසේ සිතන්නීය.

‘’ඉදින් එක නිමේශයක් තුළ ඔබ කිසියම් හෝ පුද්ගලයකුගේ සෑම දෙයක් පිළිබඳවම වශීකෘතව සිටිනා බව දැන ගනී. ඔබ සැබවින්ම ඔහු හෝ ඇය හිමි කරගත් පදුව- අපි එය විවාහය තුළින් යයි සිතමු. එම ස්නේහය එක් ගිම්හාන සමයක් තුළ මැලවී යන්නේ, මෝසම් වර්ෂාවත් සමඟ ගසාගෙන යන්නේය. ඉන් පසුව ඉතිරි වනුයේ එක්ව ජීවත් වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන ආත්ම වාසිය හා ඇල්ම පමණි. ඇබ්බැහිය, සුවපහසුව පමණි. ඒ වනාහි පැරණි සෙරෙප්පු පැළඳීමේ සුවයයි. සිරුර ශේෂ වෙයි. එහෙත්, සිරුර ද කෙතරම් පහසුවෙන් විඩාවට පත්වන්නේද? අකමැත්තට බඳුන් වන්නේ ද? අප වෙනත් කිසියම් සන්තුෂ්ටියක් පිළිබඳව කෙතරම් පහසුවෙන් සිහින දකින්නට පටන් ගන්නේද?’’

ඉදින් මේ පවසන්නේ කලක් ගතවූ විවාහයක යථා ස්වරූපයයි.

චූලානන්ද සමරනායක විසින් මේ පොත පරිවර්තනය කෙරෙනුයේ ගෙවෙන තුරා රැය මහ වැසි ඇදහැලුණිනමිනි. සාමාන්‍යයෙන් සමරනායකයන්ගේ පරිවර්තන සෑම විටම වාගේ උසස් මට්ටමකින් තිබුණද, මේ පරිවර්තනය සම්බන්ධයෙන් නම් මට සෑහීමටක පත්වීමට නොහැකි විය. පුන පුනා යෙදෙන යෙදුම් මෙන්ම පටලැවුණ වාක්‍යන් නිසා කථාවේ රසයට හානිවෙයි. පොත කියවනවිට මට හිතුනේ සමරනායකයන්ගේ වචන ගබඩාව හොරු කඩා වටිනාකියන දේවල් සොරා ගෙන ඇති බවකි. එහෙත් එක් දෙයක් පිළිබඳවනම් මම ඔහුට ස්තුති පූර්වක වෙමි. ඒ ලාංකීය පාඨකයන්ට උසස් බෙංගාලි රචකයෙක් අඳුන්වාදීමය.

රබීන්ද්‍රනාත් තාගෝර්ගෙන් පසුව බෙංගාලි සාහිත්‍ය තුළ බොහෝ ඇගයුමට ලක්වූවකු වන්නේ බෝස්ය. ඔහු ප්‍රසිද්ධ වී ඇත්තේ කවියෙකු ලෙසිනි. එහෙත් නවකථා, කෙටිකථා සහ නාට්‍ය පවා ඔහු විසින් රචනා කර ඇත. බෝස්ගේ ව්‍යක්ත රචනා ශෛලියට මම මහත්සේ ඇදී ගියේ ඔහුගේ දේවල් විස්තර කිරීමේ විලාශයයි. තුන්කොන් ප්‍රේමයක් ගැන කියවෙන්නක් බැවින් ලිංගිකත්වය මුලු කෘතිය පුරාම එබ්බවීමේ හැකියාව ඔහුට ඉහටත් උඩින් තිබිණි.  එහෙත් යාන්තම් කියා නොකියා දැමීමෙන් පමණක් පැහැදිලි කළ යුත්ත පැහැදීමටත් කුතුහලයක ඔතා පාඨකයා තම කථාව වෙත යොමු කරගැනීමටත් බෝස් සමර්ථයෙකි.

‘’මාගේ වස්ත්‍ර තුළ කිසියම් තිරශ්චීන සත්ත්වයෙක් රහසින් රැක සිටියේය. ඒ මගේම කොටසකි. එහෙත් මගේ දෑත් දෙපා මෙන් නොව එය මගේ අභිප්‍රායන්ට කීකරු නැත. ඒ සත්ත්වයා හීලෑකර ගැනීමට මට නොහැකි විණි. මගේ දැඩි හුදෙකලා එමෙන්ම ප්‍රීතිමත්ම නිමේශයන්හි දී මට පහර දීම සඳහා  උාට උගේම වූ මාර්ගයක් තිබුණි. එම අන්ධ, බිහිරි, කෙළ බේරෙන පුංචි මුහුණ හරියට පඳුරක් පිටුපස සිට කඩා පනින ව්‍යාඝ්‍රයකු පරිද්දෙන් මගේ අති සෞම්‍ය සිතුවිලි මතට කඩා පැන්නේය. ඇතැම් විටෙක ඉන් මා කෙතරම් අසහනයට පත් වී ද යත්, එම සත්ත්වයාගේ රුචිය සතපනු පිණිස මම රහසින්ම නිවසින් එළියට පැන ගතිමි. එහෙත් මහ වීදියට පිවිස අනෙකුත් පටු මංවලට රිංගා ගැනීමට අවශ්‍ය දිරිය උපදවා ගැනීමට නම් මට කවමදාවත් හැකිවූයේ නැති’’.


පවුල, පතිභක්තිය, දූ දරුවන්, ආදරය, ඊර්ෂ්‍යාව මෙන්ම ලිංගිකත්වය මිනිසාගේ පැවැත්මට බලපාන ආකාරය මෙහිලා අපූරුවට විදහා පායි. 


August 2016

No comments:

Post a Comment