19 December, 2016

වෙනස්වීම - The change

"දොර හොදට ලොක්කරගෙන ඉන්න. මම රෑට කෑමත් අරගෙන එන්නේ. කවුරු ආවත් දොර අරින්න එපා. හත්වතාවක් දොරට ගහන්නෙ මම". එයාගේ ආදරණීය තරවටුව.

"ඔයාට මේ ගමන යන්නම ඕනද?. මගේ උරහිසට තිබ්බ එයාගෙ අත මෘදුව මිරිකන ගමන් මම ඇහුවෙ බොහොම බාල හඩකින්,

"මේ අහන්න තංගම්. උෘට ඔයාගේ අගයක් තිබුනෙ නෑ. උෘට ඔයාගේ හොද තේරුනෙත් නෑ. මේ හැමදේම ඒ නිසා නෙමෙයිද? මම අද උෘට කියනවා ඔයා කවුද කියලා. මම ඔයාට කොයිතරං ආදරෙයිද කියලත් උෘ අද දැනගනීවි. උෘ හිතුවෙ මාත් බල්ලෙක් කියලා. මම ඔයාව බදිනව කියල උෘට කියල එනවා."

වැහිකරුවලත් එක්ක හැංදෑව ඕනවට වඩා ඉක්මනින් ගෙවිල ගිහින් තිබුනෙ. අන්දකාරය ඔහු ගිලගන්න හැටි මම බලා උන්නෙ හිතේ කොනක කැකෑරෙන වේදනවාත්, දෙගිඩියාවත් එක්කමයි.

සාලෙ මැද්දෙ හැම බරක්ම දරන්න සූදානමින් තිබුණ හාංසි පුටුවට මම කඩාගෙන වැටුණෙ කිසිම අරමුණක් නැතුව. කුලීගෙදර අපේ ආදර මාළිගාව වෙලා ඒ හැටි දවසක් ගෙවුනෙ නෑ. මුළු ගෙදරටම තිබුණ එකම ලී බඩුව වෙච්ච මේ හාංසි පුටුවනං උන්නේ බොහොම උජාරුවෙන්. නිතරම දෙන්නෙකුගෙ බර දරපු පුටුවට දැං මගේ බර දැනුනෙවත් නැති තරං.

-------------------------------------------
කාලෙකට කලින් කෝච්චියෙදි අපි හමුඋ‍ණේ අහම්බෙන්. ඔහු හිටියෙ මූණ පුරා තුවාලවලට පැලැස්තර දමාගෙන.
"මොනව වෙලාද?
පළවෙනි ප්‍රශ්නය ඇහුවෙ මමයි.
"බයික් එක ඇක්සිඩන්ට් උණා"
කෝච්චියට නැගපු වෙලාවෙ ඉදලා වටකරගෙන හිටි යාළුවන්ට විහිළු තහළු කරපු ඔහු මගේ ඇස්දිහා බලල හිනා උණා.
ලස්සන හිනාව........
අපි හුගක් කථා කළා. පොත්, සිංදු, චිත්‍රපටි.................
එදා අපි කෝච්චියෙන් බැහැල ගියේ ඊළග දවසෙ මට චිත්‍රපටි ගේන පොරොන්දුවත් එක්කයි. අපේ ජීවිතවල හුගක් දේවල් හුවමාරුකරගන්න, බෙදාගන්න අඩිතාලම දැම්මේ එදා.........

හාංසිපුටුවෙන් නැගිටල බිම තියල තිබුණ dvd චිත්‍රපට ගොන්න දිහා බලං උන්න මම.
මහ ගොඩක් චිත්‍රපටි.
අකීකරු මගේ ඇගිලි ඒවා එහාට මෙහාට පෙරළුව.
මගෙ හිත ගවුගනන් දුර යනවා.
ආපහු එනවා.
එතනත් නවතිනව. මෙතනත් නවතිනව.
දුකයි මට. පාළුවත් එක්ක හිස්කම අතිනත අරගෙන ඇවිදින් උගුර හිරකරනවා වගේ දැනෙන්න ගත්ත මට.

සිංදුවක් බලනව. එතකොට මේ ගතිය ඇරිල යාවි.
ඇගිල්ල ළග නතරවෙලා තිබුණ ඉංග්‍රීසි සිංදු එකතුවක් ඇදල අරගත්ත බලන්න.
ලස්සන සිංදුටික.

"මම ඔයාට ටීවී ස්ටෑන්ඩ් එකක් හදන්නම් දැන්ම. ඔන්න බලන්නකෝ"
චිත්‍රපටි බලන්නම කියල ටීවී එකක් ගෙනැල්ල, ඒකෙම පෙට්ටිය ටීවී ස්ටෑන්ඩ් එකක් කරපු හැටි මතක් වෙලා මට හිනත් ආව. එයා ඒවට නං දක්ෂයි.
දැං හිටියනං කොයිතරන් හොදයිද?
හිතේ තිබුණ පාළු ගතිය පන්නල, ආදරේ හිත පුම්බනව වගේ දැණුන මට.
ඉක්මනට එයිනෙ. මාව තනියම තියන්නෙ නෑ.

---------------------------------------------------------
ගිය වෙලාවෙ ඉදන් SMS කරනවා කෝල් කරනවා කිවුවට මොනවත් නෑ. මගේ සංසුන්කම තප්පරෙන් තප්පරේ මාව මග අරිනවා. දෙන්න ආයෙ රංඩුවක්වත් වෙලාද? තිස්ස කවදත් අමුතු කෙනෙක්. මාව දන්දීල නිකම්ම අතපිහදාගන්න තරම් එයා වෙස්සන්තර කෙනෙක් වේවිද?
මගේ හිත පැනල ඇහුව මගෙන්.................
බැලුමේ කට ඇරිය වගේ ආදරෙන් පිම්බුණු මගේ හිතත්, සූ....ස් ගාල ඇකිළුණා.
බයෙන්!
නෑ. එහෙම වෙන එකක් නෑ. කථාකරන්නනේ ගියේ. එයාට මිනිස්සුන්ගෙ හිත ගන්න පුළුවන්. තිස්ස බෑ කියන එකක් නෑ ඩිවෝස් එකට. අපි දෙන්න කවදත් ආදරේ කළේ නෑනේ. එයාට දුකක් නෑ මම නැති උණාට. මම හිත හදාගන්න උත්සාහ කළා.

රූපවාහිනී තිරය දිහා ඔහේ බලං හිටිය මට නින්ද යාගෙන එද්ද දුරකථනය නාද උණා.
අටහමාරයි.
"තංගම් මං..... මං එනවා. තව හ-රි-ය-ට-ම විනාඩි 40කින් මං-ඔ-යා ළග".
එයාගෙ හඩ විසන්ධි උණා.

වැස්සක් කඩා පත් උණා හිටිගමන්ම.
පොද ගැහිල්ලක් කිසිම සූදානමක් නැතුව.

එයා එනකොටම මම දොර ළගට දිවුවා. ඉනවටේ අත දානවද, නැත්නම් අතින් අල්ලනවද කියල හිත හිතා.
හත් වතාවක් දොරට ගහනකම් මම අහගෙන හිටිය.
"ටකට්" දොර අගුල ඇරල, සොයිබෙත් ආපහු ඇද්ද.

"තංගම්, ම-ගෙ තං-ගම්",
එයා දෑතින්ම මාව අල්ලනව වෙනුවට උළුවස්සට බර දීල මූණ විතරක් ළං කළා.
"මම බිවුව තංගම්.
නෑ-නෑ අපි දෙන්න පොඩීීී-ෂොට් එකක් දැම්මා.
මම තිස්සයව මගට දාලමයි ආවෙ. උෘට ටිකක් වැඩියි.
තව ටිකෙන් උෘ මෙහෙ එනව මාව ගෙනැත් දාන්න. මට වැඩියි කියල".

"තිස්සය හරි හොද එකෙක් තංගම්.........."

වැහිවතුරෙන් පෙගිල හිටිය එයාට ගෙට යන්න දීල මම දොරකඩින් අයින් උණා.
හදිස්සියේ කෙටුව විදිල්ලක් නිසා පළාතම ලස්සනට එළිය වැටිල අායෙත් පුරුදු කළුවරින්ම වහගත්තා.

මම ගල්ගැහිල ගියා............
කළුවරට ඇහැ හුරුවෙන්නත් කළින් ආපු මහා දරුණු හෙන සද්දෙට.

February 2015

No comments:

Post a Comment