18 December, 2016

පොත් ගුලාව - මිගුවෙල් වීදිය Miguwel street

මේක තමයි මම කියවල ඉවර කරපු පොත අවසානෙටම. මේකත් පරිවර්තනයක් තමා. නායිපෝල් මහත්තයගෙ පොත් වලින් සිංහලයට පෙරලපු පලවෙනි පොතලු මිගුවල් වීදිය. නායිපෝල් කියන්නේ ඉංදීය පෙළපතකින් එන, පස්සේ එංගලන්තේ ඉගෙන ගත්ත කෙනෙක්. එයා කරපු එකම කාරිය ලියන එකම විතරයි කියලයි පොතේ තියෙන්නේ.

මේ පොතෙන් කියන්නේ මිගුවල් වීදිය කියන එක්තරා මුඩුක්කු පරිසරයක් ගැන. මේ වීදියෙ හිටපු මිනිස්සු ගැනත් එයාලගේ චර්යාවන් ගැනත් තමා මේකෙන් කතානායකයා විස්තර කරන්නේ. එයා පොඩි ළමයෙක් විදියට තමා කථාවේ එන්නේ. ඒ නිසා කථාවෙන් කියවෙන යටි අදහස් පාඨකයට තේරුම්ගන්න ඇරලා තමයි කථාව ලියලා තියෙන්නේ. පොතේනම් කියලා තියෙන්නේ මේ නවකතාවත් ටිකක් මල්ගුඩිය වගේ කියලයි. මුඩුක්කු ජීවිතයක් ගෙවන ඒ මිනිස්සු, එක එක වෙලාවට වෙනස් වෙනවා. තමන්ට කියලා ජීවිතේ කිසිම ප්ලෑන් එකක් ඒ මිනිස්සුන්ට ඇත්තටම නෑ. තිබුණත් ඒවා පරිසරයත් එක්කම වෙනස් වෙලා නැතිභංගස්ථාන වෙලා යනවා.

ඇත්තටම මේක නවකතාවක් කියලා තිවුණට, මටනම් හිතෙන්නේ කෙටිකථා එකතුවක් වගේ කියලා. මේකෙ තියෙන්නේ එක එක චරිත ගැන විස්තරය ඇතුලත් කථා ගොඩක් තමා. හැම චරිතයක්ම බොහොම හොදට විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ ඒ චරිතය විශේෂ වුණ හේතුව කියන එක තමයි කථාවෙන් කියවෙන්නේ. ඒක හරි පිළිවෙලකට කරලා තියෙනවා. මුල ඉදන් එක එක චරිතේ එකතුවෙලා යන නිසා කථාවක් මැදින් කියෙවුවොත් ටිකක් අවුලක් වගේ වෙනවා. කථාවේ එන හුගක් චරිත කොමිටල් කට්ටිය. එක්කෝ  කියවන අපිට එහෙම තේරෙනවා. පරිවර්තකත් හිනායන විදියට සිංහල වචන හොදට හොයාගනෙ තියෙනවා.

පොත ගැන මගේ පොදු හැගීමනම් සමහර කථා ලස්සනයි ගොඩක් රසවත්. ඒත් සමහර ඒවානම් මාර කම්මැලියි. නීරසයි. එකම දේ කියවනවා වගේ තේරෙනවා. ප්‍රින්ටිං මිස්ටේක්නම් නොසෑහෙන්න තියෙනවා.
මේ එකතැන පල්වෙන කථාටිකටත් හොද වචන දැම්මානම් ඒවත් හොද වෙන්න තිවුනා කියලයි මගේ අදහස.

මේකේ කථා තියෙනවා 17ක්ම. ඒකෙන් මම ආසම කථාව තමා" මාතෘ ඉව". ඒකනම් ඇත්තටම මරු කථාවක්. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ කථා ශෛලියට ඒක හුගාක් ලගින් යනවා මටනම් හිතෙන හැටියට.

කථාව පටන්ගන්නේ මෙන්න මෙහෙම:

"මම හිතන්නෙ ලෝරාට ලෝක වාර්තාවක් තියෙනවා කියලා"'
ලෝරාට ළමයි 8 දෙනෙක් සිටියහ. ඒක ගැන පුදුම වන්නට දෙයක් නැත. 
ඔවුන් 8 දෙනාට පියවරු 7 දෙනෙක් වූහ.
 "කොහොමද ඒ වැඩේ"'

මේක කියවන්න ගන්නකොටමත් හිනා යනවානේ.
ලොකු කුතුහලයක් එනවා අටවෙනි බබාගේ තාත්තා ගැන.

ජීව විද්‍යාව පිළිබදව පළමුවන පාඩම මට කියා දුන්නේ ලෝරාය. ඇය ජීවත් වූයේ අල්ලපු ගෙදරය.
මට ඇය ඉතා ප්‍රෙවේශමෙන් නිරීක්ෂණය කිරීමට සිදුවිය. ඇගේ උදරය මාස ගණනක් තිස්සේ වැඩෙන හැටි මට දකින්නට ලැබිණ. ඉන්පසු කෙටි කලකට ඇය දකින්නට නැත. ඊ ළග අවස්ථාවේ දකින විට ඇය පැතලිව ගොසිනි.ඉන්පසු මාස කීපයකින් නැවත පෙරසේ වැඩෙන්නට පටන් ගනී. 

බොහෝම සුන්දරයි මටනම් කථාව යන හැටියට. පොඩි ළමයෙකුට මේක හරි අරුමයක්නේ කවදත්. ඊටත් ඒක කෙලවරක් නැතුව දිගටම වෙන එක ඊටත් වඩා අරුමයක්නේ.

ලෝරා හැම වෙලාවෙම ගත කළේ ළමයින් හදමින්, මිනිසුන්ට දොස් පවරමින්, තමා ගැන දුක් වෙමිනි. 
දුප්පත්කමේ වල පල්ලටම ගිහින් ඉන්න ගෑණියෙකුට, ළමයි ගොඩක් කියන්නේ සම්පතක්ම නෙමෙයි. මේ කථාවේ එන ලෝරා අමුතුම ගෑණියෙක්. කථාවෙ කෙලින් නොකිවුවත් ඇය ජීවත් වෙන්න රස්සාව හැටියට කරන්නේ තමන්ගේ ඇග විකුණන එකයි. ඉතින් මිනිස්සුන්ට දොස් කියන එකත් තමන් ගැන දුක් වෙන එකත් අමුත්තක් වෙන්නේ නෑ මේ වගේ ගැහැණියෙකුගේ ජීවිතේට.

කථාවේ මැද භාගෙදි තවත් චරිතයක් මේකට එකතු වෙනවා. එයා තමයි ලෝරාගේ 7 වෙනි බබාගේ තාත්තා. නමින් නැතෑනියල්. ලෝරාගෙ හැම මිනිහාම ළමයි හම්බ උණාම ලෝරාට ටටා බායි කියලා ගිය නිසායි අලුත් මහත්තයෙක් එක්ක අලුත් ළමයෙක් හැම වතාවෙම ලෝරාට හම්බ උනේ.

ඒත් මිගුවල් වීදියෙ ඉන්න ළමයි සෙට් එකටනම් ඒක දැනෙන්නෙ වෙනස් විදියකට. මොකද එයාල ඇත්තටම ලෝරාට ආදරේ කළා.

නැතෑනියල් බබා ලැබුණු පසුද මිගුවල් වීදිය හැර නොගියේය. එය අපේ කනස්සල්ලට හේතුවිය.
"උඹල දන්නවද, ඈ පරෙස්සම් වුණෙ නැත්නම්, මේ මිනිහගෙන්ම තවත් බබෙක් ලැබෙනවා" 
පුරුදු පරිදි කිසිම අමාරුවක් නැතිව ලෝරා අටවැනි දරුවා ද වැදුවාය.
ඒ ඇගේ අවසාන බබාය.  


කථාව මෙතනින් පස්සේ ටිකක් වෙනස් වෙලා යනවා. ලෝරාගේ ලොකු කෙලී ලෝර්නා කථාවට එනවා

එක් දිනක රාත්‍රිෙය් ලෝර්නා ඇගේ වැඩිමහල් දියණිය යතුරු ලියන පංතියට ගොස් පමා වී පැමිණ මෙසේ කීවාය. 
"අම්මේ මට බබකේ හම්බ වෙන්ට යනවා" 
 ජීවිතයේ තමන් විදපු දේම තමන්ගේ ළමයින් විදිනවා දකින්න කිසිම අම්මා කෙනෙක් කැමති වෙන්නේ නෑ. මේකෙන් ලෝරා හුගක් අවුල් වෙනවා. ලෝක විනාසෙ සිද්ධ උණා වගේ අඩන්ඩ ගන්නවා.

කථාව ඉවර වෙන්නේ ඇගේ දුව ගගේ පැනලා මැරුණාට පස්සෙයි. 

කෙටිකථාවකටනම් මේක අනර්ඝ වස්තුවක් මටනං. මට චිත්ත රූප කියන්න බැරිතරං ගානක් මැවුනා හිතේ.

මේ වගේ අපි එදිනෙදා දකින අහන සිදුවීම් තියෙන කථාවක් තමා මිගුවල් වීදිය. 

19th August 2014

No comments:

Post a Comment