19 December, 2016

අපේ ජීවිතේ වසන්ත කාලය - Spin time of our lives

ලංකාවට ඍතු භේදයක් නැති වුණාට සොබාදහම රසවිඳින කෙනෙකුට ඍතු වෙනසක් විඳගන්න පහසුවෙන් පුළුවන් අපේ රටේදිත්. හැබැයි කඩිමුඩියේ නම් නෙවෙයි. බොහොම සංයමයකින් හෙමින් සීරුවේ.
සාමාන්‍යයෙන් දෙසැම්බරය, ජනවාරිය අයිති වෙන්නෙ සීත ඍතුවට. හරියටම කිවුවොත් ශරත් ඍතුව. අපිට ඍතු වෙනස දැනෙන්නෙ වෙනදට නොදැනෙන සීතලත්, උදේට එන තද මීදුමත්, උන්න ගමන් බුම්මා ගන්නා කාලගුණයත් එක්ක විතරයි. අපි පුංචිකාලෙ අම්ම පොල්තෙල් බෝතල් ලිප ළඟට ලංකරන්නෙ අපිට සීත කාලෙ ආව කියන්න. ලිප ලඟ ඉඳං පොල්තෙල් ටික දියාරු වෙන හැටි බලං ඉඳිල්ලත් වෙනම ආස්වාදයක්!!.
පල්ලිය හූවක දෙකක දුරින් නිසා නත්තල්දා රෑට ලස්සන මල්වෙඩි වරුසාවක් අපි හැම අවුරුද්දෙම අකලට විඳගත්ත. පංසලේ ඝණ්ඨාරෙ හඬ වගේ නෙවෙයි පල්ලියේ ඝණ්ඨාර හඬ. සමහරවිට නිහඬව ඉඳල ඉඳල ඕනම වෙලාවට විතරක් තමන්ගෙ හඬ පිට කරන නිසා වෙන්නැති. ඔය මොනව වුනත් නත්තල් උත්සවශ්‍රීය අපිට මහලොකුවට දැණුනෙ නෑ ඒ කාලෙනං. දැන් වගේ ඒකාලෙ TV එකෙන් බලහත්කාරයෙන් උත්සව සිරිය මිනිස්සුන්ට නොදුන් නිසා වෙන්නත් ඇති.
කොයික කොහොම වෙතත් ලංකාවට වසන්තය එන්නෙ වර්ෂ අවසානයටයි කියලයි මම කියන්න හැදුවෙ. මල් බර වෙන්න අඩුවෙන් තමයි!. පලතුරු ගඩා ගෙඩිත් අඩුයි තමයි!. සමහර ගස්කොලන් කොළ හලල දමල ඇට සැකිලි කඳන් එළියෙ දමාගෙන ඉන්නකොට කැතයි තමයි!. ඒත් සත්තු වසන්තයක් කරගන්නව වටපිටාව මේ කාලෙට. ආගන්තුකයො බොහොමයි. උන් අලුත් පරිසරය තාවකාලිකව විඳගන්නව. ප්‍රේම කරනව, සිංදු කියනව. කෙලවරක් නැති කෙලිකවට කම් කරගන්නව. කූඩු හදනව. දරුමල්ලන් හදනව. ඉන්න ටික දවසෙ පරිසරයෙ අඩු පාඩු අමතක කරල උන් සතුටු වෙනවා. මොකද තමන්ගෙ රටේ සීත කාලය අවසන් වුණ වහාම දරු මල්ලන් තල්ලු කරගෙන ආපහු මෙහෙන් යන්න වෙන බව උන් දන්න නිසා වෙන්නැති. ඉතිං වසන්තය ඇවිදින් නෑ කියන්න පුලුවන්ද? හැමදේම මහා ලොකුවට හිතාගන්න මිනිස් සතාට ජීවිතය විඳින්න බැරි මේ සැහැල්ලු කම නැති නිසාම වෙන්න ඇති. එහෙම වුණානම් අවුරුද්ද පුරාම වසන්තය අපිටත් විඳින්න තිබුණා.
සතුටින් සැහැල්ලුවෙන්!

No comments:

Post a Comment