දැං ළමයි වගේ නෙමේ.
අපි අගෝස්තු නිවාඩුවට හිටු කියලා සරුංගල් ඇරියා.
පාට පාට දිග නයි තමා වැඩියෙන්ම හැදුවෙ.
උන්ගෙ නගුට තමා හොදම. ඒකෙන් තමා සරුංගල්නයා හැඩවෙන්නේ
එක්කෝ ඉරටු නයෙක් නැත්තං ඉතිං කිතුල් අතු නයෙක්.
කිතුල්වලින් සරුංගල් හදපු උන් දන්නවානේ ඒකෙ රගේ.
අනේ ඉතිං මාත් ඒ නිවාඩුවට හැදුවා කිතුල් අතු නයෙක්. දැම්මා පාට පාට වලිගෙකුත්. පත නයා
කට්ටිය එකට සැට්වෙලා තමා ඕවා උඩ අරින්නේ. නැතුව වැඩක් තියෙයියැ
වෙල්යායෙ ගොයං නෑනේ. එවුව කපලා නිසා හිතේ හැටියට සරුංගල් අරින්න පුලුවන්
යායෙම උන්නේ අපිවගේ සරුංගල් පිස්සො ටිකකුයි,
මඩනාල පාඩුවෙ ඉන්න මී හරක් ටිකයි,
කාපුව වමාර වමාර දපාදාල වැටිලා ඉන්න ගොන් බාන් ටිකයි විතරයි.
ඔය ඉදල හිටල නයෙක් එහේ මෙහේ රවුමක් දැම්මොත් මිසක්, වෙන කවුරුත් කුඔුරු පලාතෙ එන්නෑ.
අල්ලපු ගෙදර උන් දෙන්නයි
අපේ ගෙදර ඩබලයි (මාත් එක්ක)
තව එවුන් දෙන්නෙකුයි එක්ක ගියා ඔන්න සරුංගල් නයිටිකත් අරං
ටිකක් උඩ ගිහින් හුළගට අහුවෙනකං එහේ මෙහේ දුවන්නත් එපැයි.
දුවන්ඩත් හොදටෝම ඉඩ කඩත් තියෙන හංදා
මාත් ඉතිං මගේ සරුංගල් නයාව උඩ යවලා ටිකක් එහේ මෙහේ දිවුවා.
වැඩේ ගානට සෙට්වේගන ආව. සරුංගලේ හෙමීට උඩ යන්නයි හදන්නෙ.
මාත් උඩ බලාන ඒක අරං හෙමින් හෙමින් එහෙට මෙහෙට වෙනවා.
අනිත් එවුන් ටිකත් උන්ගේ සරුංගල් එක්ක ඔට්ටු වෙනවා.
වැඩියෙන්ම උඩ ගිය සරුංගලේ අයිකාරයා තමා ලොක්කා වෙන්නේ.
එක පාරටම මොකෙක්ද එකෙක් පිටිපස්සෙන් එන සද්දෙට මම නිකමට පස්ස බැලුව
මදැයි මෙන්න තඩි මී හරකෙක් පන්නගෙන එනවා මා පාරෙ.
නාපු මඩ බේරෙනවා උෘ දුවන පාරට, පොලවත් හෙලවෙනවා වගේ
අල්ලං උන්න සරුංගලේ අතෑරලා වෙල් නියරවල් උඩින් පැනගෙන මම දුවපි.
ඒකත් නිකම්ම නෙමේ. "මූ මා පාරෙ පන්නනෝ මාව බේරපියෝ" කියාගෙන
වෙල්යායෙ මඩවලවල් දෙකතුනකට වැටුනත් මඩත් නාගෙනම මම දිවුව
හතිවැටිල දුවගන්න බැරිවේගන එනකොටම අනිත් උන්ටිකත් කෑ ගහගෙන ආව.
ඇවිල්ලා නියරෙන් මාව පන්නල දැම්ම ඇල ඉද්දරට.
යන්තම් අපේ උන්ගෙ සද්දෙට ටිකක් ආම්බාං වෙච්ච මී හරක
"පුහ්" ගාල පිබල, මඩ පස්ස අරුන්ට පෙන්නල ගියා ආයෙ මඩටම.
බාගෙට උඩගිය සරුංගලේ ගෙනියවන්න මොකෙක්වත් නැතිකමට කූරියාගහලා පතබාල මඩේ
මාත් නිකම් මඩ කරියා වගේ දණක් උඩට මට. ඒ අස්සේ කකුල් දෙකටම සන්නිය හැදිලා වගේ වෙවුලනව.
දැන් මුංටික මගේ ළගට ඇවිදිල්ලා පණ යනකම් හිනාවෙනවා
මට උෘරු ජුවල්
ඇයි යකෝ මට වෙච්ච වින්නැහියට හිනාවෙලා හරියනවයැ
යංතං එකෙක් ඇවිදිං මාව ගත්ත ආයෙ වෙල් නියරට.
මඩ වතුරට දියවෙන්න ඔන්න මෙන්න තිබුන සරුංගලෙත් දුන්න අතට.
ඉතිං ආයෙත් හිනාවෙනවා මුං රොත්ත.
මම බැලුවා ගවුම් කොටේවත් ඉරිලද මුං කැකිරි පලන පැලිල්ලට
මල හත්තිලවුවයි. ඇදං ඇව්ත් උන්නෙ කුණු ලේ පාට ගවුම් කෑල්ලක්
දෙයියම්පා ඒ මීහරක විතරක් කුලප්පු වෙලා ඉතුරු වුන එක හොදට ගියා------------------------
25th July 2014
No comments:
Post a Comment