19 December, 2016

හදිසියේ අවශ්‍යවන අනවශ්‍ය දරුදුක - Parenting love


විදේශගතව සිට පැමිණි කාන්තාවක් තමාගේ දරුවා රුපියල් 2000කට විකිණීමට ගත් තැතකදී පොලීසිය විසින් කොටු කරගත් බව ප්‍රවෘත්ති වලින් අසන්නට ලැබිණි. ප්රඩවෘත්ති විකාශයන් දෙස බලා සිටියදී ඇති වන්නේ මව ගැන මහත් විරෝධයකි. තම කුසෙන් වැදූ දරුවා විකිණීමට තරම් දරුණු සිතක් මවකට ඇති වීය හැකිද යන්න කථා බහට ලක්විය. ඇත්ත වශයෙන්ම තම දරුවා මුදලට විකිණීම වරදකි. එහි තවදුරටත් කථා කළ යුතු දෙයක් නැත. එහෙත් මවක් තම දරුවා විකිණීමට පෙළඹෙන හේතු සොයා බැලිය යුතු නොවේද? ඇය මෙම දරුවා උපන් මොහොතේම මරා නොදමා මෙතරම් කාලයක් හදාවඩා ගත්තේ ඇයි?
මෙරට සමාජය විසින් දරුවන්ගේ පූර්ණ වගකීම මව්වරුන්ට භාරදී තිබේ. දරුවන් වැදීම කෙරේ විකල්පයක් නැති වුවද, දරුවන් හදාවඩා ගැනීම මෙන්ම රැකබලා ගැනීම සහ අධ්‍යාපනය ද පැවරෙන්නේ මව්වරුන්ගේ කරපිට ය. ඒ සඳහා කෙතරම් කැපකිරීම් ප්‍රමාණයක් කළ යුතුද යන්න තීරණය කිරීමේ නිදහස බොහෝවිට අප රටේ මවුවරුන්ට අහිමිවන අතර එම කැපකිරීමේ දිග පළල සෑම විටම මැනෙන්නේ දරුවන්ගේ පියාගේ දායකත්වය මතය. එහෙත් කටයුතු එසේ සිදු වුව ද අවසානයේ දරුවන්ගේ වැරදි වල සමස්ත වගකීම භාර ගතයුත්තේ ද මව්වරුන්ම ය. පවුලකට දරුවන් නොමැති වීමේ දෝෂාරෝපණය විවාහක ගැහැණියගේ තනි වරදක් ලෙස අර්ථකනය කරමින් සමාජය පුරුෂයා නිදොස් කරන්නාසේ ම දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම දැරීම ද කාන්තාවන් වෙතට පමණක් තල්ලු කිරීම කොතරම් සාධාරණදැ යි සිතිය යුතුව ඇත.
ඉහත සිදුවීම සලකා බැලුවහොත්, අදාල කාන්තාවගේ එම දරුවාට පියෙකු නැත. ඒ වනවිටත් විවාහකව සිටින බැවින් දරුවා සමඟ ඇය භාරගැනීමට ඇගේ සැමියා අකමැතිවීම නිසා දරුවාගෙන් ගැලවීමේ මගක් ලෙස ‘විකිණීම’ තෝරාගන්නට ඇතැයි නිගමනය කළ හැකිය. මෙම කාන්තාවට මීට වඩා වෙනත් විකල්පයක් සැබැවින්ම තිබේද යන්න ගැටලුවකි. අද සමාජයේ රැකියාවක් කිරීමෙන් පවා දරුවන් නඩත්තු කිරීම යුද්ධයක් හා සමාන වන්නකි. ඉදින් තනිව සිටින මවකට එය පහසු කටයුත්තක් වන්නේ ද? රැකියාවක් කරන්නේ නම් දරුවා බලා කියා ගැනීමට නිසි පුද්ගලයෙක් සිටිය යුතු වෙයි. නැතහොත් ඒ සඳහා නිසි ස්ථානයක් තිබිය යුතුය. ඒ සඳහා වැය කිරීමට මුදල් තිබිය යුතුය. ගෘහ සේවිකාවක් ලෙස විදේශ ගතව සිටි අදාල කාන්තාවට රැකියාවක් සොයා ගැනීම මෙරට ලේසි පහසු කටයුත්තක් නොවන වග අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. එක්කෝ ඇය තම අත දරුවා සමඟ මෙරට ගෘහ සේවිකාවක් විය යුතුය. නොඑසේනම් ඇය තම ඇඟ විකිණිය යුතුය. එහෙත් එවිටද සමාජය විසින් ඇය වෛශ්‍යාවක් ලෙසින් හංවඩු නොගසා අනුකම්පා කරයි ද?
සුදුසුකම් ඇත්තෝ ද රැකියාවන් නොමැති කමින් දුෂ්කරක්‍රියාවන්හි නිරතවන මෙවන් අවධියක දරුවන්ගේ වගකීමක් කර තබාගත් ඒකපුද්ගල මව්වරුන්ට නිසි රැකියාවක් යනු සිහිනයක්ම වන්නේය. මෙවැනි කාන්තාවන්ගේ පුද්ගලික වතගොත දැනගැනීමෙන් පසු බොහෝ පිරිමින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට දතකෑම ඉතාමත් සුලබ සිදුවීමකි. එය දුගී කාන්තාවන්ට පමණක් සීමා වන්නක් නොවන අතර සමාජයේ මොනයම් තරාතිරමක සිටිය ද තනි මවුවරුන් වටා කරකැවෙන ‘සත්පුරුෂ’ බඹරුන් සමාජයේ ඕනෑතරම් වෙති. මේ හේතුව නිසාම අසරණ වන එකලාව දිවිගෙවන කාන්තාවන්ගේ රැකියාවන් සෑම විටම කුලී වැඩ වෙත යොමුවෙයි. දාහකුත් එකක් වන සමාජමය ගැටලු වලට මුහුණ දෙමින් කුලී වැඩ කරමින් දරුවන් යහමගට යැවීම සඳහා කැපවීමට ඉමහත් ආත්මශක්තියක් තිබිය යුතු වීම අනිවාර්ය සේම සෑම කාන්තාවකටම එය දරාගැනීමට හැකිවන්නේ ද නැත.
දරුවන්ගේ සියලු වගකීම් මව්වරුන්ට භාරදී අත පිසදමාගන්නා සමාජයක් වුව ද ඒ වෙනුවෙන් කාන්තාවන්ට සහනයක් ලබා දීමට තරම් කෘතඥපූර්වක පිරිසක් මෙරට නැත. රැකියාවන්හි නියුතු මවුවරුන්ට ඇති ප්‍රධාන ගැටලුවලින් එකක් වන්නේ තම දරුවන් රැක බලාගැනීමයි. තම දරුවන්ගේත් දරුවන් වෙනුවෙන් පෙනී සිටින කිරි අම්මාවරුන් හිඟ නොවන රටක් බැවින් බොහෝවිට විශ්‍රාම සුවය මුණුබුරු මිණිබිරියන් හදා වඩා ගැනීමට කැප කරන කිරිමවුවරුන් නිසා තවදුරටත් වැඩකරන කාන්තාවට තම දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව විස්වාසයක් තැබිය හැකිවෙයි. මෙම වාසනාව සියලු කාන්තාවන්ට ලැබෙන්නේ නැත. දවස පුරා විශ්වාසයෙන් යුතුව දරුවන් රැකබලා දෙන ස්ථාන ඇත්තේ සුලු ප්‍රමාණයකි. ඒවායේ ද අයිතිකරුගේ ක්‍රියා කලාපය මත දරුවන්ට බලාගැනෙන ආකාරය ද වෙනස්වේ. මුදල් ලබාදී හෝ නිසි ස්ථානයක් සොයා ගැනීම එතරම්ම දුෂ්කරය. ඒ සඳහා මෙරට නිසි ප්‍රතිපත්තියක් මේ වනතුරුත් ඇත්තේ නැත. දිවා සුරැකුම් මධ්‍යස්ථාන හතු පිපෙන්නා සේ ඇති වුවද ඒම ස්ථාන සඳහා නිසි ප්‍රමිතියක් නැති වන්නාසේ ම ඒවා පිළිබඳව සොයා බැලීමට කිසිවෙක් ද නැත. නගරබදට වන්නට මෙම පහසුකම තිබුණ ද ගම්බද ප්‍රදේශවල දිවාසුරැකුම් ස්ථාන පිළිබඳව වග විභාගයක් කිසිවෙකුටත් නොමැත. ඉදින් තත්ත්වය මෙසේ නම් දරුවෙක් කුසෙන් වැදූ පමණින් ඇය කෙසේ හෝ එම දරුවා ඇති දැඩි කළ යුතුයැයි කිසිවෙකුට අණ කිරීමට තරම් සුදුසුකමක් හෝ සාධාරණ අයිතියක් මෙරට කිසිවෙකුට තිබේද?
රටක් ඉදිරියට ගමන්කිරීමේ දී ගතානුගතිකත්වයටම වැඳුම් පිදුම් කරමින් සිටීම පසෙක ලා ඇතිවන ගැටලු වලට නිසි විසඳුම් ලබා දීම රජයක් සතු වගකමකි. ලංකාවේ ගැටලුකාරී කළලයන් විනාශය මහා පාපයක් කොට සලකන්නා සේ ම එය නීතියෙන් ද තහනම්ය. කලලයේ බර ඇත්තේ එය දරා සිටින්නාටය. දරුවෙක් ඇති දැඩි කිරීමේ පහසුකමක් මවකට නොමැති නම් එම දරුවා රටට දායද කිරීමේ හෝ නොකිරීමේ අයිතිය කළලය දරාසිටින්නාට හිමි නොවන්නේ මන්ද? එම සාධාරණ අයිතිය මවකට නොමැතිනම් එසේ ඉපදෙන දරුවන් රැක බලා ගැනීමට ක්‍රමවේදයක් සැකසිය යුතු නොවේද? ඔවුන්ට අධ්‍යාපන සහ අනෙකුත් පහසුකම් සැලසිය යුතු නොවන්නේද? අනෙක් අතට තහනම තිබිය දී ම ගිනි ගණන් ගෙවා හොර රහසේ ජීවිතය පවා අවදානමට ලක් කරගනිමින් එසේ කරගන්නා සංඛ්‍යාව අතිමහත් බව කවුරුත් දනිති.
ලංකාවේ අසරණ අනාථ දරුවන් හදාවඩා ගැනීමට නීතියෙන් අවසර ලබාගැනීමද ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා ඇති දැඩි නීති රීති මෙන්ම දීර්ඝ ක්‍රියා පටිපාටීන් ද නිසා හැකියාවන් ඇත්තෝ පවා දරුවන් හදා වඩා ගැනීමට උත්සාහ නොකරති. මෙම නීති පද්ධතීන් දරුවන්ගේ ම යහපත උදෙසා හඳුන්වා දී තිබුණ ද, ඒවායේ ඇති අනම්‍ය ස්වරූපය නිසා නැවත වරක් අසරණ වන්නේ ද ළමුන් ම ය. විය යුත්තේ කාලයට අනුව නීති රීති සංශෝධනය වීමකි. එහෙත් ඒ පිළිබඳව කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු වන්නේ නැත. දරුවන් හදා වඩා ගැනීමට නීතියෙන් අවසර ලබා දෙන්නේ නම් අසරණ දරුවන්ගේ ජීවිත මීට වඩා යහපත් නොවන්නේද? දරුවන් හදා වඩා ගැනීමට සූදානම් පවුල් අපමණ සිටිද්දී ඒ සඳහා යහපත් ක්‍රියාමාර්ගයන් හඳුන්වාදීම මගින් මෙම සමාජ ගැටලුව නිරාකරණය කරගන්නට උත්සාහ නොගෙන තවදුරටත් ළමයින් වදන ගැහැනුන් පමණක් පව්කාරියන් කොට ගල් ගැසීම සාධාරණ වන්නේ ද?
ළමා නිවාස සංකල්පයෙන් මිදී ළමා පිහිටාධාර පටිපාටිය (foster Homes) මෙරටට හඳුන්වා දිය යුතු වෙයි. එසේම තාවකාලික දෙමාපියන්ගේ සෙවන ලබාගැනීමේ පහසුකම සැලසීමට අණ-පනත් මෙරට ස්ථාපිත කළ යුතු වෙයි. එවිට දරුවන් පාරට වැටීමේ සහ ඔවුන්ගේ අධ්‍යාපනය මගහැරීමේ අවස්ථා අඩු කර ගැනීමට මග පාදාගත හැකි ය. ඒකල උත්සාහයන් පසෙකලා රජයේ මැදිහත්වීම ඍජුවම මේ කෙරේ යොමු විය යුතු වීම අනිවාර්ය කටයුත්තකි. එමගින් අසරණ හෝ අනාථයින් ලෙස මෙලොව එළිය දකින්නන්ගේ පරපුර එතැනින් නිම කරමින් ඔවුන්ට ද තමන්ගේම යහපත් අනාගතයක් ගොඩ නගා ගැනීමට වාතාවරණයක් සලසා දිය හැකිය. පුහු සාදාචාර නාටකයන්, එල්ලාගත් ගතානුගතික සංස්කෘතික අංගයන් විකාරසහගත ආගමික න්‍යායන් නිසා දියුණු සමාජයක් ඉදි කර ගැනීමේ අපහසුවෙන් එක තැන පල්වන රටකට මෙවැනි ආදේශක ඇත්තෙන්ම පහසු නැති වුවත් ඒවා කළ නොහැකි දේවල් නම් නොවේ. අවශ්‍යවන්නේ අවංක වුවමනාවෙන් මුල් පියවර තැබීම පමණි.

September 2016 - නිවහල් වෙබ් අඩවියෙහි පලවූවකි

No comments:

Post a Comment