19 December, 2016

මාගේ ජීවිතයේ හිට්ලර්.... Hitler in my life

මගේ තාත්තා පරණ අදහස් දරන්ණෙකැයි මා අනේක වර සිතා ඇත්තෙමි.
වරෙක හිට්ලර් වරයෙකුගේ වේෂයෙන් ඔහු දකින මා, 
තවත් වරකෙ මුනිවරයෙකුසේ දකින්නට මා පෙළඹවීය.

කුඩාකළ හැන්දෑයාමයන්හි සාලයේ සිට රචනා ලිවීම පුරුද්දක් කරගෙන සිටියෙමි. 
මා අසල සිටි තොරතුරු සම්පාදනයේ හා ව්‍යාකරණ නිවැරදි කිරීමේ ප්‍රවීණයා මගේ පියානණ් විය. 
වචන 150හේ රචනාව අවසන, මා ජම්බෝලයක් මෙන් රතුව හොටු පෙරා ගෙන නැගිටින්නේ 
සාලයේ අනිත් කෙළවරෙනි. 
සෑම රචනාවක් අවසනදී මා අම්මාට සපත කරන්නේ 
"එයාගෙන්නම් ආයේ රචනා අහන්නෙ නෑ මං" යන්වෙනි.
එහෙත්, පාසලේදී මෙන්ම අදටත් ලිවීමේ දස්කමක් දක්වතොත් ඒ මගේ හිට්ලර්ට පින් සිදු වන්නටය.

මගේ තාත්තා ඇත්තෙන්ම පොත් ගුල්ලෙකි. 
සියලුම වර්ගයේ පොත් නිවාඩුපාඩුවේ බඩ උඩ තබාගෙන 
ලෝකයම ගල්වී ඇති ලෙසකින් කියවනු දැනුදු මම දකිමි. 
එදා සහ අද ඇති එකම වෙනස වන්නේ දෑසේ ඇති උපැස් යුවල පමණි. 
මාගේ සැමියාහට කිසිදු ඵලයක් නොමැතිවුවද, මපියානන් මට දුන්නාවූ ලොකුම දායාදය 
කියවීමේ රුචියයි. 
ඒගැනනම් මා සැමදා හිට්ලර්ට ණය ගැති වෙමි.

පිරිමි ඝනත්වය ඉතා ඉහලවූ මගේ තාත්තාගේ පවුලට එකතුවුණු 
අන්ත දෙකක ගෑණු පරාණ දෙන්නෙක්වූ මමත් මගේ අක්කාත් අතරින්, 
තාත්තාගේ මුනිවරබව කඩාකප්පල් කිරීමේ චෝදනාව නිතර මා හරහා ගමන් කෙරුනේ 
මාගේ අසමජ්ජාති කොලු ගති කරලියට පැමිණීමත් සමගිනි. 
කොට කොන්ඩයටත්, නිතර කලිසන් ඇදීමටත් අවසරලත් එකම පිරිමි භාගය වූ මා වෙනුවෙන් 
තාත්තාට පවුලේ ව්‍යවස්ථාව නිතර වෙනස් කිරීමට සිදුවීම නිසා 
මා පවුලේ "නරක කෙල්ල" නාමය ලදීමි. 
"මොන ඉලව්වෙ ගියත් හැංදෑවෙ හතරට ගෙදර" වූ ඔහුගේ නීතිය මා කෙරේනම් සවස හත, අට වී 
A/L ළංවනවිට අට නවයද පැන්නේ බලා සිටිද්දීය.
"දහය වෙනකොට ආවෙ නැත්නම් පාරෙම ඉන්න එකයි" ඒ හිට්ලර්ගේ අවසන් සංශෝදයයි. 

"පුතේ ඔයා විභාගෙ ෆේල් උනොත් හිනාවෙන්න ඈයෝ බොහෝමයි"
කවදාවත් විභාගවලට වැරදිලාවත් පාඩම් නොකරපු මට, O/L ළංවෙලා තාත්තනම් කිවුවෙ එච්චරයි. 
බිත්තිහතර අරක්ගෙන හිටිය සල්මන්ලා, අමීර්ලා, බෘෘස්ලිලා බිමට වැටිලා 
ප්‍රමේයන්, නියමයන් බිත්තිවල එල්ලන්නත්, ඇද පුරා පොත් නිසා අල්පදයන්න ගැසී නිදාගන්නත්
කෙසේ හෝ විභාගය ගොඩදාගන්නට මට පිහිටවූයේ මම නොදිරවු මගේ හිට්ලර්මය. 

"බොරු කියලා හම්බකරන්න නීතිඥයෙක් වෙන්න එපා ළමයො"
"air hostess වෙලා ධනපති මිනිස්සුන්ගෙ රෙදි පොරවන්නද මේතරම් ඉගැන්නුවේ"
"ගුරුවරියක් වෙනවා. ගෞරවයක් තියෙන රස්සාවක් කරනවා"
වැනි මෙකී නොකී නොයෙක් හේතුපාඨයන් නිසා 
මා කැමති දහසක් රැකියාවන් අතර හා හිට්ලර් විසින් යෝජිත රැකියාව අතර තාල්පාට්ටු වෙමින් පසුවූ මා
අවසන මට කැමති රැකියාව තෝරාගතිමි.
එහෙත් මේ මොහොතේදීත් ගුරුවරියක් වීමේ අධික ආශාවෙන් සුසුම් ලමින් 
නිතිපතා දවල් මෙන්ම රාත්‍රීෙය්ද සිහින දකිමින් පසුවෙමි.

"ඔයාගෙ හිත කොයිතරම් රිදුනත්, අනිත් අයගෙ හිත රිද්දන්න එපා. 
ඒකෙන් ඔය දෙන්නගෙම හිත් රිදෙන්න පටන් ගන්නව ජීවිත කාලෙම"
සුන්දරවූ ළමාකාලයක් මට ලබාදුන් හිට්ලර් වේශයෙන් පැමිණි මා පියාගේ 
කෙලවරක් නැති අවවාද අනුශාසනා අතර, මා ඉතා (අ)ප්‍රිය කළාවූ 
එබස් නිසා දැනුදු මම අපමණ හිත් පීඩා විදිමි. එහෙත් ඔහු නිවැරදිය. මා වැරදිය.....

July 2014

No comments:

Post a Comment