19 December, 2016

ආගම මිනිසාට ඇත්තෙන්ම අබින්ය! - Religious really matter


කලක් මගේ සමීප මිතුරෙක් අතිශයින් භක්තිමත් ‘බෞද්ධයෙක්ව’ සිටියේය. හේ දෙවේල බුදුන් වැන්ඳේය. සෑම පෝයටම පන්සල් ගියේය. බෝධි පූජා තැබීය. ගාථා සියල්ල කීවේය. බණ ඇසුවේය. කලක් ඔහු දැඩි මානසික පීඩනයකින් පෙළුණ බැවින් එකල පිරිත්පැන් සුරයක් පවා පැළඳීය. බෝධියේ වැලිගෙනවිත් ගෙය වටා ඉස්සේය. හේ වචනයකින් හෝ තම භක්තිය අහිමිකර නොගත්තේය.
හදිසියේ ඔහු කලකට අතුරුදන් විණි. කිසිදු හෝඩුවාවක් සොයාගත නොහී කාලය ගෙවී ගියේය. වසරකට ආසන්න කලකදී නැවත මට ඔහු හමුවන විට හේ අතිශයින් වෙනස් පුද්ගලයෙකුව සිටියේය. ඔහු උසස් අද්‍යාපනයට අත ගසා තිබුණු අතර, තම දිවිය සරල රේඛාවකට ගෙන තිබිණි. ඇත්තෙන්ම ඔහු සතුටින් සිටියේය. මේ වෙනසට හේතුව ලෙස ඔහු කියා සිටියේ තමා දැන් සෑම අඟහරුවාදා දිනකම කොච්චිකඩේ පල්ලියට යන බවත්, එහි ඇති ‘අනුසස්’ නිසා ඔහුගේ දිවියට වාසනාව සහ සාමය පැමිණි බවත්ය. නැවත ඔහු අතිශය භක්තිමත්ව සිටියේය. නොකඩවා පල්ලි ගියේය. දිනකට දෙවරක් යාච්ඤා කළේය. තම නිවසේ දෙවියන්ට තැනක් ලබාදී පහන් පත්තු කළේය. සියල්ල ආගමට අනුව වෙනස්කොට තිබිණි.
‘’ආගම වෙනස්කරන්න හේතුව මොකක්ද?’’ මම විපිලිසරව ඔහුගෙන් විමසීමි.
‘’මම ‘හොඳ’ බෞද්ධයෙක් වෙලා අවුරුදුගානක් උන්නා. වැඩක් නෑ. මට මොනවද බුදුන් දුන්නේ?
ඒත් පල්ලි යන්න අරං මාස හයෙන් මට හුඟක් දේවල් ලැබුණා’’. මම නිහඬ වීමි.
ඔහුට තිබුනේ හිංදු ආගම ඇදහීම ඇරඹීමට යැයි මට සිතේ. ඒ ඒ කාරණයට විශේෂඥ වූ දෙවිවරු වැඩ සිටින බැවින් මගේ මිතුරාගේ අවශ්‍යතා සියල්ල එක් මසකින්ම සපුරා ගැනීමට ඉඩ තිබිණි.
මෙය කොච්චිකඩේ පල්ලිය ගැන විස්වාසය ඇතිකිරීමක් හෝ පහර ගැසීමක්ද නොවේ. මගේ ප්‍රිය මිත්‍රයා විවේචනය කිරීමක්ද නොවේ. තමා කැමති ආගමක් විස්වාස කිරීමේ අයිතිය ඕනෑම පුද්ගලයෙකුට හිමිය. ඒ ගැන විවාදයක් නොමැත. එහෙත් 70%ක් පමණ වූ ‘බෞද්ධයන්’ සිටින්නේ කොතැනකද? සෝවාන්වීම හෝ නිවන්යෑම කෙසේ වෙතත් ඉතාමත් හරවත් බෞද්ධ දර්ශනය අවබෝධකරගැනීමක් හෝ නොකරමින් එය විකෘතිකරගැනීමෙන් අයාලේ යන්නන් පිරිසක් බිහිවීම නොවේද?
මේ ‘බෞද්ධයෝ’ බුදුන්ගෙන් සතුට ඉල්ලති. සාමය ඉල්ලති, ධනය, බලය, සාර්ථකත්වය, සැප සනීපය ඉල්ලති. සියලු බෞතික දේවල් ඉල්ලා පුද පූජා කරති. බුදු පිළිම, පන්සල්, ආරාම වෙනුවෙන් මිල මුදල් යොදවති. චීවර මිටි ගනන් පුදති. ගස් ගල්වලට ඒවා අන්දවති. මල් ලක්ෂ ගනන් පුදති. නොවක් පහන් දල්වති. කෙලවරක් නැතිව බෝගස් නහවති. පිරිත් තුන් වරුවටම අසති. කවි බන සහ වැදි බන (අරක්කු බොන්න එපා, සිගරැට් බොන්න එපා, සංඝයාට හරියට දානය දෙන්න වැනි බන) සොයා යමින් මහත් අභිරුචියෙන් සවන් දෙති. සෝවාන් වීමේ පරම අභිලාෂයෙන් කෙලවරක් නැති අසපුවල කෙටි කාලීන පාඨමාලා හදාරති. වැරදි පාරේ ලහි ලහියේ ගමන් යති. ලෝකය කඩා වැටෙනවා යයි කියමින් කැලය කඩා බිඳිමින් දිවූ හාවාගේ කථාව සිහියට එන්නේ මේවා දෙස පසෙකින් හිඳ බලා සිටීමෙනි.
සැබැවින්ම ‘බෞද්ධයන්’ කියාගන්නා මේ පිරිසට අවශ්‍ය වන්නේ කුමක්ද? තම ජීවිතයේ එක් උරයක එල්ලාගෙන ඉන්නා බෞතික මල්ලේ සමබරතාවය පවත්වාගැනීමට නොපෙනෙන සෙවනක් නොවේද? ඉඳින් කිසිවක් නෑසෙන බුදුන්වහන්සේගේ පිළිරුවක් මේ ඉල්ලීම් සියල්ල ලබාදෙන්නේ කෙසේද?
තරමක් හෝ සතුටට කාරණාවක් ලෙසින්, බෞද්ධ දර්ශනය නිවැරදිව හදාරා යහපත් චේතනාවෙන් එය සමාජගත කිරීමේ මහගු කාර්යයට වියපත් භික්ෂූන් කිහිප නමක්, තරුණ භික්ෂූන් පිරිසක් සමඟින් එක්ව කටයුතු කරනු පෙනේ. එහෙත් අවාසනාව වන්නේ ඔවුන්ට ඒ සඳහා පුලුල් මගක් නොමැති වීමය. සියලු මාධ්‍ය මගින් වැදි බන උඩදමමින් ප්‍රචාරය කරතත්, බෞද්ධ දර්ශනය මාකට් කිරීමේ ඇති අපහසුතාවය නිසාවෙන් මේ අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගොස් තිබේ. එසේ වුවත්, නිවැරදි බෞද්ධ දර්ශනයේ වටිනාකම අවබෝධකරගත් සුලුතර පිරිස එය අවබෝධකරගැනීම උදෙසා සොයා යෑම, වෙහෙසීම සහ පිහිටා සිටීම හොඳ ප්‍රවනතාවයකි. ඒ ඔවුන් හුදු ‘බෞද්ධයන්’ නොවන නිසාවෙන් විය හැකිය!

වට්ස් ඇප් පරපුරේ මුද්‍රණ දෝෂ - Printing mistakes of new era


ඊයේ පෙරේදා දවසක මං ගියා post office එකට, මමත් සෑහෙන කාලෙකින් ඒකෙ පස් පෑගුවේ. ඒ කාලේ post office ගියේ මුලිම්ම පෑනෙ මිතුරන්ට ලියුං දාන්න. ඉන්පස්සෙ ගියේ ඔය කොලු ගැටයන්ට ලියුං දාන්න. පස්සෙ පස්සෙ ගියේ ලාබෙට call ගන්න. අපිට ඒ කාලේ smart phone තිබුනෙ නැහැනේ.

ඊට පස්සේ දිගට හරහට රස්සාවල් වලට Application දමන්නත් ගියා.
කාලෙ නෙසෑහෙන්න වෙනස් වෙලා කියලා තේරුණේ ඒකට ගියාම එදා. ඒ කාලේ ඇට කෝටු වගේ උන්න අක්කලා දැන් තප්පදෝරු වෙලා. (තාමත් උන් ඒකෙමයි)
දාන් උන්න ඇට මාල වෙනුවට රත්තරනං චේන් ඇවිල්ලා. බෝරිච්චි අත් දමලා තිබුණ සාරි හැට්ට වල අත් හැලිලා මැගියා අත් ඇවිල්ලා. සාරිපාටවල් ඇස් කඩාගෙන යන තරම්.
කොහොම හරි පුරුදු ගම් පිරුණ මේසෙට ගිහින් මගේ කාරිය පටන් ගත්තා.
මම එතනට යනකොටත් හොඳට කරදඬු උස් උණ කොලු ගැටවු දෙන්නෙක් එතන ඇඹරෙනවා දැක්කා. මම මේසය ලඟට ගියාම කොලුවො දෙන්නා ඩිංගක් අයින් උනා. මගේ එක කණකට ඇහුන ඒවායිනුත් ඇස් කොණින් දැකපු ටිකෙනුත් තේරුණා උන් දෙන්නාට ලියුමක් දමාගන්න ඕනෑ වෙලා බව. ඒත් දෙන්නාම දන්නේ නැහැ ලිපිනය ලියන්නේ කොයි පැත්තේද කොතනද කියලා. මගේ වැඩය අවසන් වන තුරුත් කොල්ලන් දෙන්නා කුටු කුටු ගාමින් උන්නා.
"මැද බං ඇඩ්රස් ලියන්නේ". එකෙක් කියනවා
"නෑ බං ඒක කොනකින් ලියහං" අනික උත්තර දුන්නා.
"වට්ස් ඇප් ටිවිටර් එක්ක ඉන්න අපිට මොන ලියුංද බං
මේල් එකක් දාන විදිහ අහපං මම කියන්නං"
කොහොම හරි මම ලියන දේවල් බලා උන්න එක ගැටයෙක් යාන්තම් බලි අකුරෙන් ලිපිනය ලියලා ගම් තලියක් ගාලා ලියුම් පෙට්ටියට ලියුම දාල යන්න ගියා. යන්තම් දොඩම් ගෙඩි තුන හතරක උසට ඉන්න මම ඕක කියා දෙන්න ගියානම් එතන සෑහෙන අලකලංචියක් වෙන්න ඉඩ තිවුණා.
මොකද දැන් කාලෙ හැදෙන ළමයින්ට යමක් කියා දෙන්න යාම ඇදගෙනම නෑමක්.

technology එක්ක හැදෙන ළමයින්ගෙ දියුණුව තියෙන්නේ ඇත්තටම එක පැත්තයි. කල්පනාකරලා වැඩක් කරන්න උන්ට ඇත්තටම බැරි හැටි!!!

September 2016

මායි අරක්කුයි සිගරට්ටුයි - Me liquor and cigarettes

මම අරක්කු සිගරට් ගංජා වලට කිසිම විරෝධයක් දක්වන එකියක් නෙමෙයි.
හැබැයි එක කන්ඩිෂන් එකක් පිට!
ඕනැම දෙයක් ඕනැවට වැඩිය ඕනැම නෑ.
කොටින්ම බණ භාවනාව පවා ගිහියෙකුට වැඩි උනොත් ඒකත් හෙන අවුලක් නේ.
බීලා ඇවිල්ලා කචල් දානවානම්, සද්දේ දානවනම් 
ළමයි ඉස්සරහා, නැත්නම් ලොකුකම් පාන්න සිගරට්ටුව ගහගෙන දඟලනවානම්
අන්න වැරදියි
නිසි පරිදි දෙයක් පාවිච්චි කරන්නට දන්නැතියෝ ඒවා පාවිච්චි නොකර ඉඳීමෙන්
කාට කාටත් හොඳක් වෙනවා.
ගෙවල්වල බොහෝ බවලතුන් තමන්ගේ මිනිහා බොනවට කැමති නැහැ
බොන යාලුවො ඇසුරු කරනවටත් කැමති නැහැ. හරියට උන් තමන්ගේ මිනිහට බීම පුරුදු කළා වගේ තමා ඉන්නේ. එහෙම උන් ගෙදරට එනකොටත් පුප්පනවා
මිනිහා බීලා ආවාමත් කොක්ක දානවා. සද්දේ දානවා
සෞඛ්‍යමය හේතු මත ඕවා කරනවානම් ඒක හෙනම විකාරයක්
මොකද පත්පැන් කටේ නොතිබ්බ උන්ට සිරෝසිස් හැදිල තියෙනවා ඕන තරං
ඒ විතරයැ
සෑහෙන කාලයක් ආයු වලඳන chain smokers ල ගෙඩි පිටින්.
ඔය කොහොම උනත්
බීමට කොක්ක අදින කාන්තාවන්ට පොඩි home work එකක් කරල බැලුවැකි.
මහත්තයා බීල ආව දවසක ෂොපිං යන්න සල්ලි ඉල්ලන්න. බොහොම යාප්පුවෙන්.
පර්ස් එකම අතට දේවි......
අන්න එහෙමලු ඒවා වෙන්නෙ.
ඔය නිකං තියෙන 64 මායම් ප්‍රයෝජනයට ගත්තට පාඩු නෑ අනී


September 2016

පොත් ගුලාව - ''ප්‍රේමය පසසනු වස්'' --- In praise of Love

''ප්‍රේමය වෙහෙස මහන්සි විය යුත්තක්
එය හුදු ආශ්චර්යයක් නොවේ.
ඔබ අවධානයෙන් සිටිය යුතුයි.
ඔබ සිතිය යුතුයි.
ක්‍රියා කළ යුතුයි සහ වෙනස් විය යුතුයි.
එවිට ස්ථීර ලෙසම
ඒ සියලු කටයුතු වෙනුවෙන් ඒ තුළින්ම ලැබෙන අස්වැන්නක් ලෙස
ඔබ වෙත සතුට හිමි වේවි.
ප්‍රේමයට රැකවරණය මෙන්ම නැවත නැවත අත් කර ගැනීම්ද අවශ්‍යයි''.
~~~~~~~~~~~~~~~~~~~~~
''ප්‍රේමය පසසනු වස්''
--- In praise of Love ---
by Alain Badiou with Nicolas Truong



October 2016

'මූකුති'ය සහ nose stud

දෙමළ තරුණියන්ගෙ නාසයේ
පැලපදියන් වෙන
සොඳුරු නාස් මුදුව 'මූකුති',
නොවක් ගරු බුහුමන් ලබද්දී.....
ඒ මුදුවම
බොදු, ගොවි, සිංහල මගේ නාසයේ
Nose Stud ලෙසින් හරි බරි ගැහෙද්දී
මෙතරම්
නින්දා
ගැරහුම්
කිම?
අනෙක
අපි ගැහැනුන්ම වන කල්හි!!!


October 2016

හීන ගොඩක් - Dreams

සමහර සිහිනයන් වෙනුවෙන් අපට කාලයක් බලා සිටීමට සිදුවීම අරුමයක් නොවේ.
මක්නිසාද යත්, ඒවා එතරම්ම ඉස්තරම් වන බැවිණි. වටිනා කියන බැවිණි.
මහප්‍රාණ සිහිනයන් ගැන අපේ සිතේ තියෙන්නාවූ පැතුම් දියාරුවී යන්නට ඔන්න මෙන්න කියා තිබියදී
හදිසියේ ඒ සිහින ඉටුවීම
ජීවිතය නම් වන්නේය.
කිසිදු පෙර දැණුම් දීමකින් තොරව මා දමාගිය මගේ පලමු පෙම්වතා එනතුරු
මම කලක් එසේ බලා සිටියෙමි.
ඒ නැවත ඔහු පැමිණෙන බවට කිසිදු හෝඩුවාවක් නැතිව තිබියදීමය.....
ආදරය යදිමින් සමාව භජනය කරමින් හේ වසර පහකට පසු මා සොයා ආවේය.
අන්දමන්ද වයස්කාලය පසුකර තිබූ බැවින්, මා කෙලින් කටින් සිටියෙමි.
''අඩුම ගානේ ඔයා වගේ කෙනෙක්වත් හොයා දෙනවද එහෙනම්''.
ඒ පින්සෙන්ඩුව එතනින්ම අහවර විය. මම ඔහුට සිනා සුනෙමි.
වසර 20කට ආසන්න කාලයක් තිස්සේ දකිම්න් තිබූ තවත් සිහිනයක් වියැකීයන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඊයේ පෙරේදා අත්පත් කර ගතිමි.
මම අපමණ ප්‍රීතියෙනි.
සිහින
එකතැන පල්වෙන ජීවිතයට හදිසියේ දෙන මහා තල්ලුවක් වැනිය.
තවත් තියේ
හීන ගොඩක්!!!!!


October 2016

ජංගමයයි අපියි - Mobile and us

කථා දෙකක් නෑ ටෙලිෆෝන් එක මාර වටිනා කියන ගැජට් එකක්. ඕකෙන් වැඩිපුරම කරන්නේ ‘මල් කඩන’ එක වුණත් ඒ පාට් එක අමතක කලොත් අපේ ජීව්තවල සෑහෙන කරදර ගොඩක් නවත්තගන්න සැලකිය යුතු හෙල්ප් එකක් දෙනවා. කොටින්ම මොබයිල් ෆෝන් එකයි ක්‍රෙඩිට් කාඩ් එකයි දෙකම ඒඩ්ස් වගේ. හැදෙනකම් සෑහෙන ෆන්. හැදුනාම සේරම හබස්. දැනගෙන පාවිච්චි කරන එක තමා නුවණට හුරු.
ටික කාලෙකට ඉස්සර දන්න කියන කෙනෙක් පාන්දර එක හමාරට දෙකට විතර කෝල් කළා. එයා උන්නෙ සෑහෙන්න කළබලෙන්. දඩි බිඩියෙ මගෙන් ඇහුවෙ CEB එකේ නොම්මරය. ඒ මහ පාන්දර නින්දේ සැපම නින්ද ගෙවාගෙන යන පැයේදි කෝල් කරල ටෙලිෆෝන් නම්බර අහන එකාට අමතන්න වෙන්නේ මොන භාෂාවෙන්ද කියල ආයෙ කියන්න දෙයක් නෑනේ. හොඳ වෙලාවට මගෙ ළඟ ඒ අහපු නම්බරය තිබුනෙ නෑ. ඒත් CEB එකේ හදිසි ඇමතුම් අංශයේ නම්බරය දීල ඕන එකක් අහගන්න කියනවාත් එක්කම එයා කට් කළා. මං ආත බූත වෙලා නිදාගන්න හදද්දි මෙන්න ආයෙම එනව අරයගෙන් කෝල් එක. ‘ඔයාට පින් අනේ. අපේ මීටරේ ගිනි ගත්තා. ගේ ඇවිලෙන්න ඔන්න මෙන්න. හුඟ දෙනෙකුට කථා කළා. ආන්සර් කළේ නෑ. අනෙක් සේරමලගෙ ෆෝන් ඕෆ්. හිත හිත උන්නේ නැහැ ඔයාගෙ නම්බරය ගත්තේ ඒකයි. සමාවෙන්න කරදරදර කළාට’ බ්ලා බ්ලා බ්ලා**********
බහුතරයක් අයගේ ජංගමයෝ රෑට ඕෆ්. නැත්තම් සයිලන්ට් මූඩ් දමනවා. වැඩේ තියෙන්නේ දවල් කාලෙ උදවුවක් ඉල්ලගන්න ඕන තරම් ඈයො. මේ වගේ හදිස්සියකට රෑට කෝල් එකක් ගත්තාම පණ දෙන්න කථා කරන උන් පවා නෑ බේතකටවත්. කොටින්ම තමන්ටම කරදරයක් උණත් ජංගමයාගෙන් හදිස්සියට උදවුවක් ගන්නවත් standby තියෙන්න ඕනානේ. අසත්පුරුෂ යාලුවො ඉන්නවානං කරන්න වෙන්නේ උන්ව හලන එක තමා. නැත්තං රෑ තිස්සේ උන් ආතල් ගනිවි කාට කාට හරි වද දීලා.
හැබැයි එහෙමයි කියලා හවස හතෙන් අටෙන් පස්සේ හදිස්සියක් නැතුව මිත්‍රයන්ගෙ නෑදෑ හිතවතුන්ගේ ජීවිතවලට කඩා වැදීම් හරිනෑ emergency කේස් එකක් නැත්නම්. විශේෂයෙන් විවාහක ඈයන්ගෙ. මොකද හැමෝටම පුද්ගලික ජීවිත තියෙනවානේ.
අනිත් කට්ටිය තමා ජොබ් එකෙන් day off ගත්ත මිත්‍රයො. office එකේ ඒව අහල සමහරු පණ යනකම් කෝල් ගන්නවා නිවාඩු දවසට. හැබැයි එහෙම වද දෙන්නො කිසිදාක leave දාපුවාම ජංගමය අතට ගන්නෑ කොහොමටවත්ම. නිවාඩුවක් දාන්නෙ නිවාඩුවක් ඕන හන්දානේ. කෝල් කරලා වාත කළාම එයාලගේ පුද්ගලිකත්වයට ඒකෙන් වෙන්නේ හානියක්. සමහරුන්ගේ නිවාඩු දවස office කෝල් වලටම ගෙවිල යනවා.
තව සමහරු ඉන්නවා රෑ නමයට දහයට එස් එම් එස් එවන. මෙලෝකෙ වැඩකට නෑ. ඒත් එයාලට තනිකම පාලුව යන්න හතර අතේ ඉන්න උන්ට එස් එම් එස් ගහනවා. ඔවුවා ගස් යන වැඩ. මගේ මිත්‍රයෙකුගෙ බිරිඳක් රෑ ආව ඒ වගේ කෙටි පණිවියක් හන්දා ලොකු අඩවුවක් ඇල්ලුවා. හොඳ වෙලාවට ආව sms එක පස්සෙ news alert එකක් උණා. නැත්තං ඒ පවුල එතනින්ම හබස් වෙනවා.
ඕකයි මං කිවුවෙ ජංගමය හොඳයි පාවිච්චිය හොඳ නම්.

October 2016


දැන් කාලෙ ළමයි - Kids of this eara

දැන් හැදෙන ළමයි රොබෝකරණය වෙලාද කොහේද?
අම්මා තාත්තා ගැහුවාම 
'එයාලව මරන්න හිතෙනවා. දෙමවුපියෝ නිසා ඉවසනවා' 
කියන ළමයි තමා දැන් ඉන්නේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඒකටත් එක්ක මේ මං ගෑනි .................................
අපේ අම්මගෙන් නොසෑහෙන්න ගුටි පූජාවල් අරගත්ත
හිතුවක්කාර වහු දෙනක් තමා මං. 


ඒ කාලේ ඉතිං ඔව්වා හරිම සාමාන්‍ය දේවල්.
ගුටිකන එකේ සීමාවක් කෙලවරක් නෑ නේ.
ඒ හැදිල තිවුණ 'පණුගායට' එහෙම බැට නොදුන්නානං
අද මෙහෙම ජීවත්වීම දවල් හීනයක්ම තමා.


මොනා උනත් දෙමවුපියෝ තඩි බෑවා කියලා මානව අයිතිවාසිකම් ඉල්ලන්න අපි ගියේ නෑ හොඳ වෙලාවට.
කොහොමිං හරි දවසක් අපේ අම්ම මට උන්හිටි ගමන් තඩි බෑවා.
මොන මගුලක්ද හැමදාම ගුටිකන එක කියලා
බැස්සා මං එළියට.
යනවා යන්න ගෙදරින්..


ඒ දවස්වල එකම පිස්සුව මඩොල්දූව වගේ එකකට පැනගෙන, හේනක් වවාගෙන ගේ පැලක් අටවගෙන, කැලෑවේ වීරයෝ වෙන එක.
ඒකට සෙට් වෙන්න තරං හයිරං කාරියක් උන්නෑ මට.
මොකද ඒ වෙනකොට මම යාන්තං හයේ පන්තියේ වගේ එතකොට.


අනේ ඉතිං මේ දිරිය දැරිවි රේල්පාර දිගේ කොට පැනගෙන එනකොට එනකොට
අපේ අම්මා පන්නාගෙන ඇවි්ල්ලා මාව අල්ලාගත්තා. 


අහල පහල යන ඈයන්ගේ 'කාරුණික' උදව්වෙන්.
ආයෙත් හිතේ හැටියට ගුටි කාලා, හැන්දෑ වරුවම බලියලා,
ඊළඟ දවසේ ඉදං පුරුදු වහු ජීවිතේටම වැටෙනවා. 


හැබැයි කරපු වරදත් ලැබුණ 'සත්කාරයත්' අමතක උනේ නෑ කිසිදාක. 


අම්මලා තාත්තලා ගැන අබමල් රේණුවක තරහක් වෛරයක් මට නං ඒ කාලේ ඇති වුණේ නෑ..
~~~~~~~~~~~~~
කොම්පියුටර් යුගය ඇවිත්
කාලෙ වෙනස්
තාලෙ අලුත්
ළමයි වෙනස්


November 2016

දළදාවයි මහනුවරයි - Kandy the city

කාලෙකට පස්සේ නුවර පැත්තේ රවුමක් දැම්මා.
අවුරුදු හය හතක ඉඳන් දළදා මාළිගාව මම යන්න අකැමති තැනක්!
(දැන් මහා බෞද්ධ ඈයො මට බැන අඬගාගෙන එන්න එපා). 

මම කාලයක් ඔතනට තනියම ගිහිල්ලත් පැය ගනන් වාඩිගෙන උන්නු කෙනෙක් වෙච්චි, බුද්ධ දර්ශනයේ තියන සරලම කාරණාවක් වෙන සමානාත්මතාවය පවා නැතිම තැනක් කියල කියන්න උදාහරණ එමට. එතනට ගිය වෙලාවේ ඉඳලා දකින්න කරන්න ලැබෙන ඒවායෙන් හිත සන්සුන් වෙන එක කෙසේ වෙතත්, ලේ කෝප වෙලා තමා එන්න වෙන්නේ.
කොහොමින් හරි ගිය කාරණාව කරණකොට ගෙන වෙන කරන්න දෙයක් නොතිබුණ හන්දා මාළිගාවේ තිබුණ කෞතුකාගාරය පැත්තේ පැදකුණු කළා. මොනවා උනත් ඒකේ ඇත්තටම වැදගත් වෙන දේවල් ටිකක් තියෙනවා දැනකියා ගන්න. රාජ සිංහ රජ්ජුරුවන්ගේ එවුව මෙවුවා, ඒ කාලෙ කාන්තාවන්ගෙ පැළඳුම් කාරිය (එ් කාලේ ඉඳල තියෙන්නේ හයේ හතරේ ගෑනු)

පරණ සේරක්කල, කාලන්චිය, උඩලිපත, පේකඩ වගේ පරණ වැදගත් එවුව!
ඒත් කණගාටුව තමා ඒක නඩත්තු නොකිරීම. 

කෞතුකාගාරය නඩත්තු නොකිරීම ඉතිහාසයම මකා දැමිල්ලක් වගේ කියල එතන උන්න එකෙකුටවත් නොතේරීම ගැන ඒ හැටි පුදුම වෙන්න දේකුත් නෑ හැබැයි. 

මොකද 'පිටවීම' කියල බෝඩ් එකක් ගහල තියන තැනින් මනුස්සයෝ පිට වෙන්න හදනකොට,
''ඔතනින් යන්න එපා සිංහල තේරෙන්නැද්ද''කියල අහන අං ආව ඈයො තමා එතන පාලනය කොරන්ඩ උන්නෙ.
 සුදුත් ඇඳගෙනම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සේරක්කල-හෙප්පුව
කාලන්චිය - පඩික්කම
උඩළිපත- ලින්ටල්
පේකඩ-කයිරුව

December 2016

අපේ රටේ දේශපාලුවෝ - politicians





දියුණු රටවල දේශපාලඥයා යනු යම්තාක් දුරකට වැදගත් පහේ රැකියාවකි. කොටින්ම එය වයිට් කොලර් ජොබ් එකකි. ඒ නිසාම එයට අදාල වෘත්තීමය සුදුසුකම් තිබේ. අදාල වේතන සහ එම රටට අදාල නීති රෙගුලාසි එම තනතුරටද එකසේ බලපැවැත් වේ. මේ නිසාම එම වෘත්තිය තෝරාගන්නා පිරිස සුදුසුකම් ලත්තෝ වෙති. ඔවුහු තම රැකියාව නිවැරදිව ඉටු කරති. ඒ සඳහා නිසි වේතනය ලබති. තමාට අදාල වරප්‍රසාද භුක්ති විඳිති. සතුටුදායක සේවයක් නැතිවිට ඉල්ලා අස්වෙති නැතහොත් ධූර කාලයෙන් පසුව රැකියාව හැරපියා සතුටින් යන්නට යති. වෙනත් රැකියාවක නියුතු වෙති. තනි ඉරකින් මෙය මෙසේ නොවුනත් සාමාන්‍ය තත්වය වන්නේ එයයි.
එහෙත් මෙරට දේශපාලඥයා යනු සමාජසේවකයෙකි.
සමාජසේවය යනු රැකියාවක් නොවන බැවින් ඒ සඳහා ඕනෑම පුද්ගලයෙක්හට ඉදිරිපත් විය හැකිය. කිසිදු සුදුසුකමක් ඊට අදාල නොවේ.
ජනතාව වෙනුවෙන් සමාජසේවය කිරීමට දිවා රෑ නොබලා වෙහෙසෙන බැවින් ඔවුු්න්ට විශේෂ වරප්‍රසාද ලබාදිය යුතුවේ.
එසේම සමාජ සේවකයා වේතනයක් නොලබන බැවින් කැමති පරිදි ඉපැයීමේ මං සාදාගැනීමේ අයිතිය සහ බලය ඔවුන් සතුවේ.
සමාජසේවයේ කෙලවරක් නොමැති බැවින් ධූරකාලය අවසන්ව යාමට අවශ්‍යතාවයක් නැත. මැරෙන තුරු ජනතාව වෙත කැපවීම ඔවුන්ගේ එකම අභිලාෂයයි. අතරමගදී වෙන අලකලංචි ගනන් ගත යුතු නොවන්නේ සමාජසේවකයා අතිනුත් වැරදි සිදුවන බැවිනි.
ඔවුන් ගහ මරා ගනිති, විලි ලැජ්ජා නැති වැඩ කරති. සියල්ල කැප කරති.
වෙන කිසිවක් නිසා නොව ජනතා සේවය වෙනුවෙන්ම පමණි.
ඉදින්
අපි අපිටම අනුකම්පා කරගනිමින් බලා සිටිමු.
නැවතත්, නැවත නැවතත්
දේශපාලඥයන් නම්වූ සමාජසේවකයන් අපි වෙනුවෙන් වෙහෙසෙන හැටි.

තිරකථා රස කථා - Moondram Pirai

Moondram Pirai 1982 ඉන්දියාවේ නිෂ්පාදනය වූ අමුතු මාදිලියේ චිත්‍රපයටක්. ශ්‍රී දේවී හා කමල්හසන් රංගපෑ මෙම චිත්‍රපයට බාලු මහෙන්ද්‍රන්ගේ අධ්‍යාක්ෂණයක්. සංගීතය ඉලයරාජාගේ. මේ චිත්‍රපටය 1983දී හිංදි භාෂාවෙනුත් නැවත නිෂ්පාදනය කළා. චිත්‍රපටයේ කියවෙන්නේ තනිව ජීවත්වන ගුරුවරයෙකුට retrograde amnesia තත්වයෙන් පසුවන තරුණ කාන්තාවක් හමුවීමෙන් ඇති වෙන සිදුවීම් පෙළක් ගැන. මේ රෝගයට අනුව රෝගියාට ළදරු මානසිකත්වයක් ඇතිවෙනවා. කාන්තාවට මේ තත්වය ඇතිවන්නේ ඇය මුහුණදෙන රිය අනතුරින් පසුවයි. මේ තරුණයා ඇයව රැකබලා ගන්නවා. ඇයට ආදරය කරන්නට පටන් ගන්නවා. ඒත් චිත්‍රපටයේ අවසානය ඛේදවාචකයක්! 

කෙසේ වෙතත් චිත්‍රපටය ආදායම් වර්තා තබනවා. සම්මාන රාශියක් ශ්‍රී දේවිගේ රඟපෑමට වගේම කමල්හසන්ගේ රංගනයටත් ලැබෙනවා.

මේ චිත්‍රපටයේ එන Poongaatru - Moondraam Pirai ගීතය හරිම සුන්දරයි.


චිත්‍රපටයේ හුවාදක්වන්නට නොහැකි සමහර හැඟීම් එලිදක්වන්නට මේ ගීතය අධ්‍යක්ෂකවරයා විසින් යොදාගෙන තිබෙනවා.
මෙහි හිංදි චිත්‍රපටයේ එන ගීතය වන්නේ Aye Zindagi Gale Laga Le. සමාන දර්ශනරූප වලින් දැක්වුවත් ගීතවලින් නගන්නේ වෙනත්ම ආකාරයේ හැඟීම්. 

වසර 33 පසුව මේ ගීතය Dear Zindagi නම් චිත්‍රපටයට නැවත යොදාගෙන තිබෙනවා. චිත්‍රපටය මුදාහැරීමට දින දෙකකට උඩදී මූල්‍ය පරමාර්ථය සහ ජනප්‍රියත්වය උදෙසාම මෙම ගීතය Dear Zindagi චිත්‍රපටයට යොදාගත් බවයි පැවසෙන්නේ.

අදහස පැහැදිලියි. ගීතය තවමත් වටිනාකමින් ඉහලයි.

//ජීවිතය, මා වැළඳගන්න. බලන්න. මම ඔබගේ සියලු කම්කටොලු වැළඳගෙන. 
එහෙම නේද? ඉතිං ඔබත් මා වැළඳගන්න.
ඇසේ පිරුණාවූ කඳුලු ඇස් පිහාටු නම්වූ වේලයෙන් වසන් කර සිටිමි. ලෝකයාට හොරෙන් නිහඬවම. 
ජීවිතය මට ඔබේ සහාය ලැබිණි. ජීවිතය, මා වැළඳගන්න.

මගේ දෑසට පොඩි සෙවනක් ලැබී ඇත. (ලෝකය කටුක එළියෙන් පිරී ඇති බැවින්)
මගේ හදවත ඒ පුංචි කඳුලු බිදු දෙකෙන් පුරවාගතිමි.
යන්තම් වෙරළක් හමුවූවායැයි ඉන් සිතමි.
ජිවිතය මා වැළඳගන්න//.


පින්තූරයේ ඇත්තේ Moondram Pirai චිත්‍රපටයේ අවසන් ජවනිකාවයි. climax of the movie.

“සනම්” - The band

“සනම්” යනු ඉන්දියාවේ දැනට සිටින ඉහලම පෙලේ POP Rock කාණ්ඩයේ සංගීත කණ්ඩායමකි. සනම් පූරි (ප්‍රධාන ගායනය), සමර් පූරි (ලීඩ් ගිටාරය හා ගායනය), වෙන්කි S නැතහොත් වෙන්කට් සුබ්‍රමනියම් (බේස් ගිටාරය සහ ගායනය) කේෂව ධන්රාජ් (ඩ්‍රම්ස් හා ගායනය) යන සතරදෙනාගෙන් සැදුම් ලත් “සනම්”, ඉන්දියාවේ ගීත කලාවට නව අරුතක් සපයමින් සිටිති. කණ්ඩායම් සංගීතය ඉන්දියාවේ නැවත ප්‍රචලිත කිරීමේ පුරෝගාමීන් ලෙස මොවුන් ඉන්දියාවේදී බුහුමනට පාත්‍රවෙමින් සිටිති. සනම් පූරිගේ මූලිකත්වයෙන් 2010 වසරේදී ඇරඹුණු “සනම්” මේ වනවිට ඉන්දියාවේ ගීත චාට් සෑම එකකම පාහේ මුල් ගීත අතර සිටින ඇමරිකාව එංගලන්තය ඇතුලු බොහෝ රටවල මහත් ජනප්‍රියත්වයක් ඔවුහු ලබා සිටිති. කණ්ඩායමේ Social Media ජනප්‍රියත්වය ඉතාමත් ඉහල අගයක තිබෙන අතර, ඔවුන්ගේ නිල U Tube චැනලයේ දිනක නැරඹීමේ 500K බවට වාර්තා වෙයි.
කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ මූලික සංගීත භාණ්ඩ කීපය මුසු කිරීමෙන් නව සංගීත රටාවක් හඳුන්වා දීමත් පරම්පරා 3කට එනම් සීයා ආච්චිත්, දෙමවුපියන් හා දරුවන් එකට සිට රසවිඳීමේ හැකියාව ඇතිකිරීමත්ය. ඔවුන්ගේ මේ ව්‍යායාමය සාර්ථක බවට හොඳම නිදර්ශනය වන්නේ “සනම්” හි සියලුම සජීවී ප්‍රසංග සඳහා තරුණ මහලු සියල්ලන්ගේම සහභාගීත්වය එකසේ තිබීමය. එපමණක් නොවේ කණ්ඩායම තනි ගීත හඳුන්වාදීමේ රැල්ලක්ද ඇරඹූ අතර එය ගීත ඇල්බම නිකුත්කිරීමට වඩා ඉතාමත් සාර්ථක වී ඇත. මේ වනවිට ඔවුන් ඉංගිරිසි භාෂාව ඇතුලුව ඉංදියාවේ බොහෝ භාෂා වලින් ගීත නිකුත් කර තිබේ.
එපමණක් නොවේ “සනම්” කණ්ඩාමය ඉන්දියාවේ Retro Classic ගීතවලට නව පණක් දීමේ කටයුත්තට ද අතගසා තිබේ. ගීතයේ මූලික සාරයන් වලට හානියක් නොකිරීමට ඔවුන් වගබලාගෙන තිබීම පැසසිය යුතුවේ. මේ කියන්නට යන්නේ එයට හොඳම උදාහරණයක් ගැනයි.
Aandhi චිත්‍රපටය දේශපාලනික උරුවක් ඇතිව නිෂ්පාදනයකළ 1975දී තිරගතවූවක්. එහි අධ්‍යක්ෂක ගුල්සා වූ අතර රංගනයෙන් දායකවූයේ සංජීවූ කුමාර් සමග සුචිත්‍රා සෙන්. චිත්‍රපටයේ සාර්ථකත්වය ගෙන ගියේ එහිවූ මනෝහර ගීත නිසාවෙනි. සංගීතය රාහුල් දේව් බර්මන්ගේ වූ අතර ගායනය ලතා මංගේෂ්කාර් සමගින් කිෂෝර් කුමාර් විය. එහි එන "Tere Bina Zindagi Se" ගීතය ඉතාමත් සොඳුරු ගීයක්. නව නිපැයුම සමගින් “සනම්” කණ්ඩායම.

හදිසියේ අවශ්‍යවන අනවශ්‍ය දරුදුක - Parenting love


විදේශගතව සිට පැමිණි කාන්තාවක් තමාගේ දරුවා රුපියල් 2000කට විකිණීමට ගත් තැතකදී පොලීසිය විසින් කොටු කරගත් බව ප්‍රවෘත්ති වලින් අසන්නට ලැබිණි. ප්රඩවෘත්ති විකාශයන් දෙස බලා සිටියදී ඇති වන්නේ මව ගැන මහත් විරෝධයකි. තම කුසෙන් වැදූ දරුවා විකිණීමට තරම් දරුණු සිතක් මවකට ඇති වීය හැකිද යන්න කථා බහට ලක්විය. ඇත්ත වශයෙන්ම තම දරුවා මුදලට විකිණීම වරදකි. එහි තවදුරටත් කථා කළ යුතු දෙයක් නැත. එහෙත් මවක් තම දරුවා විකිණීමට පෙළඹෙන හේතු සොයා බැලිය යුතු නොවේද? ඇය මෙම දරුවා උපන් මොහොතේම මරා නොදමා මෙතරම් කාලයක් හදාවඩා ගත්තේ ඇයි?
මෙරට සමාජය විසින් දරුවන්ගේ පූර්ණ වගකීම මව්වරුන්ට භාරදී තිබේ. දරුවන් වැදීම කෙරේ විකල්පයක් නැති වුවද, දරුවන් හදාවඩා ගැනීම මෙන්ම රැකබලා ගැනීම සහ අධ්‍යාපනය ද පැවරෙන්නේ මව්වරුන්ගේ කරපිට ය. ඒ සඳහා කෙතරම් කැපකිරීම් ප්‍රමාණයක් කළ යුතුද යන්න තීරණය කිරීමේ නිදහස බොහෝවිට අප රටේ මවුවරුන්ට අහිමිවන අතර එම කැපකිරීමේ දිග පළල සෑම විටම මැනෙන්නේ දරුවන්ගේ පියාගේ දායකත්වය මතය. එහෙත් කටයුතු එසේ සිදු වුව ද අවසානයේ දරුවන්ගේ වැරදි වල සමස්ත වගකීම භාර ගතයුත්තේ ද මව්වරුන්ම ය. පවුලකට දරුවන් නොමැති වීමේ දෝෂාරෝපණය විවාහක ගැහැණියගේ තනි වරදක් ලෙස අර්ථකනය කරමින් සමාජය පුරුෂයා නිදොස් කරන්නාසේ ම දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම දැරීම ද කාන්තාවන් වෙතට පමණක් තල්ලු කිරීම කොතරම් සාධාරණදැ යි සිතිය යුතුව ඇත.
ඉහත සිදුවීම සලකා බැලුවහොත්, අදාල කාන්තාවගේ එම දරුවාට පියෙකු නැත. ඒ වනවිටත් විවාහකව සිටින බැවින් දරුවා සමඟ ඇය භාරගැනීමට ඇගේ සැමියා අකමැතිවීම නිසා දරුවාගෙන් ගැලවීමේ මගක් ලෙස ‘විකිණීම’ තෝරාගන්නට ඇතැයි නිගමනය කළ හැකිය. මෙම කාන්තාවට මීට වඩා වෙනත් විකල්පයක් සැබැවින්ම තිබේද යන්න ගැටලුවකි. අද සමාජයේ රැකියාවක් කිරීමෙන් පවා දරුවන් නඩත්තු කිරීම යුද්ධයක් හා සමාන වන්නකි. ඉදින් තනිව සිටින මවකට එය පහසු කටයුත්තක් වන්නේ ද? රැකියාවක් කරන්නේ නම් දරුවා බලා කියා ගැනීමට නිසි පුද්ගලයෙක් සිටිය යුතු වෙයි. නැතහොත් ඒ සඳහා නිසි ස්ථානයක් තිබිය යුතුය. ඒ සඳහා වැය කිරීමට මුදල් තිබිය යුතුය. ගෘහ සේවිකාවක් ලෙස විදේශ ගතව සිටි අදාල කාන්තාවට රැකියාවක් සොයා ගැනීම මෙරට ලේසි පහසු කටයුත්තක් නොවන වග අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. එක්කෝ ඇය තම අත දරුවා සමඟ මෙරට ගෘහ සේවිකාවක් විය යුතුය. නොඑසේනම් ඇය තම ඇඟ විකිණිය යුතුය. එහෙත් එවිටද සමාජය විසින් ඇය වෛශ්‍යාවක් ලෙසින් හංවඩු නොගසා අනුකම්පා කරයි ද?
සුදුසුකම් ඇත්තෝ ද රැකියාවන් නොමැති කමින් දුෂ්කරක්‍රියාවන්හි නිරතවන මෙවන් අවධියක දරුවන්ගේ වගකීමක් කර තබාගත් ඒකපුද්ගල මව්වරුන්ට නිසි රැකියාවක් යනු සිහිනයක්ම වන්නේය. මෙවැනි කාන්තාවන්ගේ පුද්ගලික වතගොත දැනගැනීමෙන් පසු බොහෝ පිරිමින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට දතකෑම ඉතාමත් සුලබ සිදුවීමකි. එය දුගී කාන්තාවන්ට පමණක් සීමා වන්නක් නොවන අතර සමාජයේ මොනයම් තරාතිරමක සිටිය ද තනි මවුවරුන් වටා කරකැවෙන ‘සත්පුරුෂ’ බඹරුන් සමාජයේ ඕනෑතරම් වෙති. මේ හේතුව නිසාම අසරණ වන එකලාව දිවිගෙවන කාන්තාවන්ගේ රැකියාවන් සෑම විටම කුලී වැඩ වෙත යොමුවෙයි. දාහකුත් එකක් වන සමාජමය ගැටලු වලට මුහුණ දෙමින් කුලී වැඩ කරමින් දරුවන් යහමගට යැවීම සඳහා කැපවීමට ඉමහත් ආත්මශක්තියක් තිබිය යුතු වීම අනිවාර්ය සේම සෑම කාන්තාවකටම එය දරාගැනීමට හැකිවන්නේ ද නැත.
දරුවන්ගේ සියලු වගකීම් මව්වරුන්ට භාරදී අත පිසදමාගන්නා සමාජයක් වුව ද ඒ වෙනුවෙන් කාන්තාවන්ට සහනයක් ලබා දීමට තරම් කෘතඥපූර්වක පිරිසක් මෙරට නැත. රැකියාවන්හි නියුතු මවුවරුන්ට ඇති ප්‍රධාන ගැටලුවලින් එකක් වන්නේ තම දරුවන් රැක බලාගැනීමයි. තම දරුවන්ගේත් දරුවන් වෙනුවෙන් පෙනී සිටින කිරි අම්මාවරුන් හිඟ නොවන රටක් බැවින් බොහෝවිට විශ්‍රාම සුවය මුණුබුරු මිණිබිරියන් හදා වඩා ගැනීමට කැප කරන කිරිමවුවරුන් නිසා තවදුරටත් වැඩකරන කාන්තාවට තම දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව විස්වාසයක් තැබිය හැකිවෙයි. මෙම වාසනාව සියලු කාන්තාවන්ට ලැබෙන්නේ නැත. දවස පුරා විශ්වාසයෙන් යුතුව දරුවන් රැකබලා දෙන ස්ථාන ඇත්තේ සුලු ප්‍රමාණයකි. ඒවායේ ද අයිතිකරුගේ ක්‍රියා කලාපය මත දරුවන්ට බලාගැනෙන ආකාරය ද වෙනස්වේ. මුදල් ලබාදී හෝ නිසි ස්ථානයක් සොයා ගැනීම එතරම්ම දුෂ්කරය. ඒ සඳහා මෙරට නිසි ප්‍රතිපත්තියක් මේ වනතුරුත් ඇත්තේ නැත. දිවා සුරැකුම් මධ්‍යස්ථාන හතු පිපෙන්නා සේ ඇති වුවද ඒම ස්ථාන සඳහා නිසි ප්‍රමිතියක් නැති වන්නාසේ ම ඒවා පිළිබඳව සොයා බැලීමට කිසිවෙක් ද නැත. නගරබදට වන්නට මෙම පහසුකම තිබුණ ද ගම්බද ප්‍රදේශවල දිවාසුරැකුම් ස්ථාන පිළිබඳව වග විභාගයක් කිසිවෙකුටත් නොමැත. ඉදින් තත්ත්වය මෙසේ නම් දරුවෙක් කුසෙන් වැදූ පමණින් ඇය කෙසේ හෝ එම දරුවා ඇති දැඩි කළ යුතුයැයි කිසිවෙකුට අණ කිරීමට තරම් සුදුසුකමක් හෝ සාධාරණ අයිතියක් මෙරට කිසිවෙකුට තිබේද?
රටක් ඉදිරියට ගමන්කිරීමේ දී ගතානුගතිකත්වයටම වැඳුම් පිදුම් කරමින් සිටීම පසෙක ලා ඇතිවන ගැටලු වලට නිසි විසඳුම් ලබා දීම රජයක් සතු වගකමකි. ලංකාවේ ගැටලුකාරී කළලයන් විනාශය මහා පාපයක් කොට සලකන්නා සේ ම එය නීතියෙන් ද තහනම්ය. කලලයේ බර ඇත්තේ එය දරා සිටින්නාටය. දරුවෙක් ඇති දැඩි කිරීමේ පහසුකමක් මවකට නොමැති නම් එම දරුවා රටට දායද කිරීමේ හෝ නොකිරීමේ අයිතිය කළලය දරාසිටින්නාට හිමි නොවන්නේ මන්ද? එම සාධාරණ අයිතිය මවකට නොමැතිනම් එසේ ඉපදෙන දරුවන් රැක බලා ගැනීමට ක්‍රමවේදයක් සැකසිය යුතු නොවේද? ඔවුන්ට අධ්‍යාපන සහ අනෙකුත් පහසුකම් සැලසිය යුතු නොවන්නේද? අනෙක් අතට තහනම තිබිය දී ම ගිනි ගණන් ගෙවා හොර රහසේ ජීවිතය පවා අවදානමට ලක් කරගනිමින් එසේ කරගන්නා සංඛ්‍යාව අතිමහත් බව කවුරුත් දනිති.
ලංකාවේ අසරණ අනාථ දරුවන් හදාවඩා ගැනීමට නීතියෙන් අවසර ලබාගැනීමද ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා ඇති දැඩි නීති රීති මෙන්ම දීර්ඝ ක්‍රියා පටිපාටීන් ද නිසා හැකියාවන් ඇත්තෝ පවා දරුවන් හදා වඩා ගැනීමට උත්සාහ නොකරති. මෙම නීති පද්ධතීන් දරුවන්ගේ ම යහපත උදෙසා හඳුන්වා දී තිබුණ ද, ඒවායේ ඇති අනම්‍ය ස්වරූපය නිසා නැවත වරක් අසරණ වන්නේ ද ළමුන් ම ය. විය යුත්තේ කාලයට අනුව නීති රීති සංශෝධනය වීමකි. එහෙත් ඒ පිළිබඳව කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු වන්නේ නැත. දරුවන් හදා වඩා ගැනීමට නීතියෙන් අවසර ලබා දෙන්නේ නම් අසරණ දරුවන්ගේ ජීවිත මීට වඩා යහපත් නොවන්නේද? දරුවන් හදා වඩා ගැනීමට සූදානම් පවුල් අපමණ සිටිද්දී ඒ සඳහා යහපත් ක්‍රියාමාර්ගයන් හඳුන්වාදීම මගින් මෙම සමාජ ගැටලුව නිරාකරණය කරගන්නට උත්සාහ නොගෙන තවදුරටත් ළමයින් වදන ගැහැනුන් පමණක් පව්කාරියන් කොට ගල් ගැසීම සාධාරණ වන්නේ ද?
ළමා නිවාස සංකල්පයෙන් මිදී ළමා පිහිටාධාර පටිපාටිය (foster Homes) මෙරටට හඳුන්වා දිය යුතු වෙයි. එසේම තාවකාලික දෙමාපියන්ගේ සෙවන ලබාගැනීමේ පහසුකම සැලසීමට අණ-පනත් මෙරට ස්ථාපිත කළ යුතු වෙයි. එවිට දරුවන් පාරට වැටීමේ සහ ඔවුන්ගේ අධ්‍යාපනය මගහැරීමේ අවස්ථා අඩු කර ගැනීමට මග පාදාගත හැකි ය. ඒකල උත්සාහයන් පසෙකලා රජයේ මැදිහත්වීම ඍජුවම මේ කෙරේ යොමු විය යුතු වීම අනිවාර්ය කටයුත්තකි. එමගින් අසරණ හෝ අනාථයින් ලෙස මෙලොව එළිය දකින්නන්ගේ පරපුර එතැනින් නිම කරමින් ඔවුන්ට ද තමන්ගේම යහපත් අනාගතයක් ගොඩ නගා ගැනීමට වාතාවරණයක් සලසා දිය හැකිය. පුහු සාදාචාර නාටකයන්, එල්ලාගත් ගතානුගතික සංස්කෘතික අංගයන් විකාරසහගත ආගමික න්‍යායන් නිසා දියුණු සමාජයක් ඉදි කර ගැනීමේ අපහසුවෙන් එක තැන පල්වන රටකට මෙවැනි ආදේශක ඇත්තෙන්ම පහසු නැති වුවත් ඒවා කළ නොහැකි දේවල් නම් නොවේ. අවශ්‍යවන්නේ අවංක වුවමනාවෙන් මුල් පියවර තැබීම පමණි.

September 2016 - නිවහල් වෙබ් අඩවියෙහි පලවූවකි

අපේ ජීවිතේ වසන්ත කාලය - Spin time of our lives

ලංකාවට ඍතු භේදයක් නැති වුණාට සොබාදහම රසවිඳින කෙනෙකුට ඍතු වෙනසක් විඳගන්න පහසුවෙන් පුළුවන් අපේ රටේදිත්. හැබැයි කඩිමුඩියේ නම් නෙවෙයි. බොහොම සංයමයකින් හෙමින් සීරුවේ.
සාමාන්‍යයෙන් දෙසැම්බරය, ජනවාරිය අයිති වෙන්නෙ සීත ඍතුවට. හරියටම කිවුවොත් ශරත් ඍතුව. අපිට ඍතු වෙනස දැනෙන්නෙ වෙනදට නොදැනෙන සීතලත්, උදේට එන තද මීදුමත්, උන්න ගමන් බුම්මා ගන්නා කාලගුණයත් එක්ක විතරයි. අපි පුංචිකාලෙ අම්ම පොල්තෙල් බෝතල් ලිප ළඟට ලංකරන්නෙ අපිට සීත කාලෙ ආව කියන්න. ලිප ලඟ ඉඳං පොල්තෙල් ටික දියාරු වෙන හැටි බලං ඉඳිල්ලත් වෙනම ආස්වාදයක්!!.
පල්ලිය හූවක දෙකක දුරින් නිසා නත්තල්දා රෑට ලස්සන මල්වෙඩි වරුසාවක් අපි හැම අවුරුද්දෙම අකලට විඳගත්ත. පංසලේ ඝණ්ඨාරෙ හඬ වගේ නෙවෙයි පල්ලියේ ඝණ්ඨාර හඬ. සමහරවිට නිහඬව ඉඳල ඉඳල ඕනම වෙලාවට විතරක් තමන්ගෙ හඬ පිට කරන නිසා වෙන්නැති. ඔය මොනව වුනත් නත්තල් උත්සවශ්‍රීය අපිට මහලොකුවට දැණුනෙ නෑ ඒ කාලෙනං. දැන් වගේ ඒකාලෙ TV එකෙන් බලහත්කාරයෙන් උත්සව සිරිය මිනිස්සුන්ට නොදුන් නිසා වෙන්නත් ඇති.
කොයික කොහොම වෙතත් ලංකාවට වසන්තය එන්නෙ වර්ෂ අවසානයටයි කියලයි මම කියන්න හැදුවෙ. මල් බර වෙන්න අඩුවෙන් තමයි!. පලතුරු ගඩා ගෙඩිත් අඩුයි තමයි!. සමහර ගස්කොලන් කොළ හලල දමල ඇට සැකිලි කඳන් එළියෙ දමාගෙන ඉන්නකොට කැතයි තමයි!. ඒත් සත්තු වසන්තයක් කරගන්නව වටපිටාව මේ කාලෙට. ආගන්තුකයො බොහොමයි. උන් අලුත් පරිසරය තාවකාලිකව විඳගන්නව. ප්‍රේම කරනව, සිංදු කියනව. කෙලවරක් නැති කෙලිකවට කම් කරගන්නව. කූඩු හදනව. දරුමල්ලන් හදනව. ඉන්න ටික දවසෙ පරිසරයෙ අඩු පාඩු අමතක කරල උන් සතුටු වෙනවා. මොකද තමන්ගෙ රටේ සීත කාලය අවසන් වුණ වහාම දරු මල්ලන් තල්ලු කරගෙන ආපහු මෙහෙන් යන්න වෙන බව උන් දන්න නිසා වෙන්නැති. ඉතිං වසන්තය ඇවිදින් නෑ කියන්න පුලුවන්ද? හැමදේම මහා ලොකුවට හිතාගන්න මිනිස් සතාට ජීවිතය විඳින්න බැරි මේ සැහැල්ලු කම නැති නිසාම වෙන්න ඇති. එහෙම වුණානම් අවුරුද්ද පුරාම වසන්තය අපිටත් විඳින්න තිබුණා.
සතුටින් සැහැල්ලුවෙන්!

පෝරිසාද මෙනූ පත - Cannibal Restaurant

එක්තරා පෝරිසාදයෙක් කැලය මැදින් ඇවිදගෙන යද්දි,
එවැනිම පෝරිසාද හාදයෙක් විසින් පවත්වාගෙන යනු ලැබූ භෝජනාගාරයකට ගොඩ වැදිණි.
බඩගින්දරක් දැණුන බැවින් හොඳ තැනක් අල්ලා වාඩිවී මෙනූපත ගෙන කියවන්නට පටන් ගති.
කජු සමග රොස් කරන ලද සංචාරකයෙක් ඩොලර් 5
තම්බන ලද මිෂනාරිවරයෙක් සමඟ එළවළු ඩොලර් 10
බදිනලද ගවේශකයෙක් සමඟ බිම්මල් ඩොලර් 15
බේක් හෝ ග්‍රිල් කරන ලද ශ්‍රී ලාංකික දේශපාලඥයෙක්.
(ඔබේ මනාපය පරිදි SLFP, UNP, CP, LSSP,JHU, NFF, JVP, TNA ලෙසින් සැරහුම් කරදීමට හැකිය. ඩොලර් 250
පෝරිසාදයා මෙනූ පත පසෙක තබා වේටර් කොලුවා තමා වෙත කැඳවීය.
“ඒ තරං ලොකු ගානක් මොකද ලංකාවෙ දේශපාලඥයෙක් වෙනුවෙන්”?
මෙය ඇසූ අරක්කැමියා වහා පිළිවදන් දිණි.
“කවදහරි එකෙක්ව ශුද්ධ කරල තියෙනවද? උන්ගෙ මල ජරාව පිරිල, ඕකට මගෙ උදේ වරුවම ගියා”.
කියමින් හේ නැවත තම කාරිය කරන්නට විණි.
~~~~මිතුරෙකුගේ රසකථා ගොනුවකින් උපුටාගෙන පරිවර්තනය කරන ලදී

ස්පෙයාවීලයක කතන්දරය! - Story of a spare wheel


වර්තමාන මිනිස් දිවිය කර්කශය, ඝෝෂාකාරීය. ඔවුන් සියල්ලෝම මහා තරගයක කොටස් කරුවන් පිරිසක්ව හැල්මේ දුවති. බොහෝ දෙනෙකුගේ රසනහර ඔවුන් විසින්ම කපා දමාගෙන තිබේ. තවත් පිරිසක් විකල්ප නොමැති කමින් විඳීම් අත්හරිමින් සිටිති. කෙසේ හෝ අතලොස්සක් පමණක් තවමත් උඩුගම් බලා පිහිනමින් සිටිති. මුදල් සහ බලය මත සියල්ල රඳා පවතින වත්මන් සමාජයේ මිනිසුන්ට දේවල් විඳින්නට කාලය උගහටය. එබැවින් කලා රසය යන්න හුදෙක් පම්පෝරි ගැසීමකට පමණක් සීමා වෙමින් පවතියි.
සියලු කලා රසයන් ගිලෙමින් පවතින යුගයක ලිංගික රසය සීඝ්‍රයෙන් උද්දීපනය වෙමින් පැවතීම පුදුම එළවන්නක්ද නොවේ. කලා රසයකින් ලබන ගොළුබෙලි වින්දනයට වඩා ලිංගික උත්කර්ශයෙන් මානවයාට ලැබෙන ක්ෂණික සහනය නූතන සමාජය වසංගතයක් මෙන් ආක්‍රමණය කෙරෙමින් තිබේ. වයස් භේදයකින් හෝ ලිංග භේදයකින් තොරව සියලු පීඩනයන්ගෙන් ඉහිල්වීමට ලිංගික සහනය බොහෝ උපකාරී වෙත්. එසේ නැතහොත් මේ හැල්මේ දුවන්නෝ එසේ සිතත්.
“ස්පෙයාවීලය” නමින් සමාජයේ වහරණ, විවාහයට අමතරව ගෙන යන (ලිංගික) සම්බන්ධතාවය බොහෝ පොදු කාරණයක්, සත්‍ය ලෙසම ප්‍රසිද්ධ රහසක් ලෙසින් සංස්කෘතික බැමි සිදුරුවලින් රිංගමින් කරළියේ පෙරළි කරයි. “ඇත්තෝ” නිහඬවම ස්පෙයාවීලයත් සමඟින් රමණයේ යෙදෙනාතර ආසයි බයයි අදියරේ සිටින්නෝ තවමත් අකුල් හෙළීමේ ව්‍යාපෘති දියත් කරමින් ස්වයං වින්දනයේ යෙදෙති. ඔවුන් අතරින් ශුද්ධවන්ත පුරුෂයෝ සමාජශීලී ගැහැණිය බඩුවක් ලෙස හංවඩු ගසමින් සදාචාරය කරපින්නාගෙන දත්කූරු කමින් සිටින විට පත්තිනි මවුන්ගේ සෙයියාවෙන් සිටිනා කාන්තාවෝ සමාජශීලී ගැහැණිය වේසාවියක් කරමින් තවදුරටත් නවගුණ වැලම ගනිමින් සිටිති.
මෙය කෙසේ සිදුවුවත් ස්පෙයාවීලයන් අතරින් විවිධ වර්ගයේ රැළි මතුවෙමින් පවතින අතර ඉන් වඩා ජනප්‍රිය වන්නේ වයස් පරතරය ඉතා ඈතින් පිහිටා ඇති සබඳතාවයන්ය. බොහෝ ලාබාල තරුණයන් වයසින් වැඩි කාන්තාවන්ගේ ඇසුර ප්‍රිය කරන අතරම වයසින් අඩු කාන්තාවන් වියපත් තරුණයන් කරා ඇදීයාම ඒ රැළිවලට උදාහරණය.
මේ උපසංස්කෘතියේ කඩඉමේ සිට බලන්නෙකුට මෙම සබඳතා අතිශයින්ම ලිංගික ක්‍රියාවලියේ සක්‍රීයතාවයන් මතම සිදුවන කාරියක් පමණක් ම යැයි බැහැරලීමට හැකියාව ඇතත් යම් යම් මානුෂීය හේතුපාඨයන් මේ හා ඈඳෙමින් පවතියි. මෙම සබඳතා ගණන්ගත හැකි කාලපරිච්ඡේදයන් පසුකරන අවස්ථා ද නැත්තේ ම නොවේ. උදාහරණයක් ලෙස තරුණයන් පරිණත කාන්තාවන්ගේ ඇසුර ප්‍රිය කිරීමට මූලිකම හේතුව වන්නේ එම කාන්තාවන් විසින්ම සියලු වගකීම් දරන බැවිණ. එසේම මනා අවබෝධයක් ඇති නිසාවෙන් තහංචි සහ නීති රීති වලින් තොරවූ සැහැල්ලු සබඳතාවයක් ගෙනයාමේ තල්ලුව, යමක් කථාකොට විසඳාගැනීමේ නැමියාව මේ කාන්තාවන්ගෙන් නිබඳවම ලැබෙයි. එසේම ඔවුන්ගෙන් බොහෝ විට මවකගේ රැකවරණය තරුණයාට ලබාගත හැකි වීමත් (මෙහිදී මනෝවිද්‍යාත්මක කාරණවක් ද සඵල වෙතැයි සිතිය හැකිය.)හේතුකාරණා ලෙස දැක්වීමට හැකිය. ගැටළුවක දී ඇයගෙන් වන මැදිහත්වීම, මුදල්මය කාරණාවලදී අතහිත ලැබීමද විශේෂ කාරණා වෙයි. අනෙක් පසින් මේරූ කාන්තාවන් තරුණයන්ගෙන් උපරිම ලිංගික සංතර්පණයක් ලබනවා සේම සම වයසේ පිරිමියෙකුගෙන් ලැබිය නොහැකි ඉඟි බිඟි ආල ලීල පෑම්වලට මේ මේරූ කතුන් ලොල්වීම ද සිදුවෙයි. භාවලීලය වැඩි කාන්තාවන් තරුණයාට යත්වීමට ප්‍රිය කරන්නාසේම මෝරා වැඩුණු කාන්තාවෝ ගැටවරයන් පාලනයකිරීමෙන් ද තෘප්තියක් ලබති.
එහෙත් වයස්ගත පුරුෂයන්ගේ ඇසුර සොයන බොහෝ තරුණියන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ තමාට නොමසුරුව වියදම් කරවාගැනීමයි. කොටින්ම කියතහොත් ඇවිදින Credit කාඩ් පතකි. (මතක තබාගන්න එය ATM කාඩ් පතක් නම් නොවේ). තරුණයෙකුගෙන් ලබනවාට වඩා බොහෝ වරප්‍රසාද මේ තරුණියන්ට වියපත් බඹරුන්ගෙන් ලබාගැනීමේ හැකියාව උපරිමය. මෙහිදීද පියෙකුගේ රැකවරණය, ගැටළුවලදී ඉතාමත් සුරක්ෂිත සහ සාර්ථක විසඳුම් ලබාගැනීමටද මෙම තරුණියන්ට අවස්ථාව සැලසේ. තරුණයෙකුට වඩා ජීවිතයේ අද්දැකීම් බහුල බැවින් පැසුණු පුද්ගලයන්ගේ ඉවසීමේ ගුණය තරුණියන්ට සහනයක්ම ගෙන දෙයි. ඔවුන්ගේ කන්කෙඳිරි ගෑම්, නොනවත්වා කියවීම්, පුහුමාන්නය වැනි ඉතා පොදු කාරණා මෙන්ම අධ්‍යාපනය සම්බන්ධ කාරණා සහ රැකියා සම්බන්ධ කාරණාවන් වලදී ද තරුණයන්ට වඩා වාසි සහගත ඉඩ ප්‍රස්ථා ඇතිකරලීමට මේ පුරුෂයන් සමත්වෙති. මේ වියපත් පෙම්වතුන් බොහොමයක් තිරිහන්වීමේ මානසිකත්වය සහ නැතිවී යන ජවය නැවත ලබාගැනීමේ අරමුණින්ද, ධනාත්මක මානසිකත්වය නැවත ලබාගැනීමේ අරමුණින්ද, පරිපූර්ණ ලිංගික ආස්වාදයක් ලැබීමේ අරමුණින්ද, තම හැකියාවන් තවදුරටත් යාවත්කාලීන කිරීමෙන් ලබන මාන්නයත් කරණකොට ගෙන තරුණියන්ට නොමසුරුව අනුග්‍රහය දක්වමින් මේ සබඳතා නඩත්තු කරමින් සිටිති. එපමණක් නොවේ සමාජයෙන් කොන් වෙමින් තිබූ තම පෞරුෂය නැවත සමාජගතකිරීමේ අරමුණ ද මොවුන්ට නැත්තේම නොවේ.
මේවාට අමතරව ඉමක් කොනක් නොමැතිව අතපසුවූ ලිංගික ක්‍රියාවලිය සමනය කරගැනීමේ පරම අභිලාෂයෙන් පමණක්ම තමන්ට රුචියෙක් සමඟ තාවකාලික පළහිලවු පටලවා ගැනීමත් සුලබ කටයුත්තකි. අතට අසුවන මානයේ කවුරුන් හෝ ඩැහැගැනීම මූලික ලක්ෂණයකි. මේ සබඳතා ඉතාමත් සරල වන අතර බැඳීමේ මුඛ්‍ය පරමාර්ථය ලිංගිකත්වයම පමණකි. එහෙත් මේ අතර තවත් පිරිසක් විසින් කථාබහ කිරීමට හැක්කෙක් සොයාගැනීම මඟින් තමන්ගේ පීඩාවන් නිදහස්කර ගැනීමේ කාර්යය දෙයාකාරයකින් සිදුකරගනියි. කාරිය කරගැනීමට අමතරව වැදගත් තාලයේ කථාවක් කිරීම මගින් මානසික සහනයක්ද ප්‍රසාද දීමනාවක් ලෙස ලැබිය හැකි වීම මෙහිලා විශේෂ වේ. මෙවැනි සබඳතා අතර සාමාන්‍යාකාරයක ඇයි හොඳයියක් පැවතීම සිදුවෙයි. එකිනෙකාට ගරුකිරීමක් ශිෂ්ඨසම්පන්න ගතියක්ද නඩත්තු කරයි. කෙටිකාලීන වන අතර හුදු ලිංගිකත්වය උදෙසාම නොවූවද තම පුද්ගලිකත්ව මෙම සබඳතාවලින් ඈත්කර තබාගැනීමට බොහෝ දෙනෙක් වගබලාගනිති. අත්හැරීම් නිතර සිදුවුවද පසු අමනාපයන් කිසිවක්ම නොවන බැවින් වගකීම්වලින් 100%ක්ම දෙපාර්ශ්වයම නිදහස්වේ.
මේ සියලු ස්පෙයාවීල් අතර මිතුරන් අතරේ පමණක් වන සබඳතාත් දැකිය හැකිවෙයි.මිතුරුකම ඒ ආකාරයෙන්ම පවත්වාගැනීමත් අවශ්‍ය විටෙක ශාරීරික උවමනාවන් සරිකර ගැනීමටත් මේ මිතුරුකම් යොදා ගැනෙයි. එකිනෙකාගේ හැඟීම් අනෙකා විසින් අවබෝධකර ගැනීමත් එයට අවශ්‍ය පසුබිම සකස්කර ගැනීමත් ඉබේම වාගේ සිදුවෙයි. නිහඬ අනුමැති අනුව සියල්ල සිදුවුවද ඒවා අතර ගැටලු පැන නොනගියි. තමාගේ කොටස්කරුවා විශ්වාසවන්ත මිත්‍රයා වීම නිසා අනතුරුදායක තත්වය අඩුය. අතරින් පතර විරාගික සබඳතා ද දැක්ක හැකිය. ඔවුන් අතරේ කිසිඳු ලිංගික බැඳීමක් ඇති නොවන නිසා හුදු වාචික අදහස් හා හැඟීම් හුවමාරුවකට පමණක්ම සීමා වෙයි. එසේම ඔවුන් දැඩි ලිංගික පීඩනයක් පාලනය කිරීම මගින් වෙනත් ආකාරයක වින්දයක් ලබන්නෝ වෙති. මානසික පීඩා අඩුබැවින් ඉතාමත් දැහැමෙන් සෙමෙන් පවත්වාගනු ලබන සබඳතාවකි මෙය.
මෙසේ විවිධ වූ ස්පෙයාවීල් මෙරට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වුවද තවමත් වැදි යුගයේ මානසිකත්වයන් උරින් දරා සිටින්නන් බහුල බැවින් මඩ ගැසීම්, පවුල්කඩා ඉහිරවීම්, කාර්යාලවලදී වක්‍රාකාරව වෘත්තීමය පහර දීම්, බ්ලැක්මේල් කිරීම්, ලිංගික අඩන්තේට්ටම් සහ අවසන මිනීමරාගැනීම්ද පොදුවෙමින් සිදුවෙමින් පැවතීම කණගාටුවට කරුණකි.
එසේම සීමාවන් ඉක්මවා යාම නිසා බොහෝවිට නැති පශ්න ඇතිවීම ද බලාපොරොත්තු විය හැකිය. මේ සියල්ල පසෙකලා ස්පෙයාවීලය ද තල්ලුකර ගෙනයමින් තමන්ගේ ජීවිතය ද නිදහසේ ගෙවමින් ඉතා හොඳින් තම පවුල ද නඩත්තු කරගන්නෝ බොහෝමයක් සිටිති. ඇත්තෙන්ම අපේ කාලයේ මහෞෂධ පඬිවරු ඔවුහු වෙත්. සරල සුගම න්‍යායන් තම ජීවිතයේ අවශේෂ කාරණයන්ට ආදේශ කරගැනීමෙන් උපරිම ඵලයක් ලැබීමට තරම් ඔවුහු දක්ෂය. බෙල්ලේ බැඳගෙන කෑම පසෙකලා අතමානයෙන් තබාගෙන රස බැලීම නිසා ජීවිතය විඳින්නෝ මොවුහුය. මෙහි හරි වැරැද්ද කෙසේවෙතත් පොදු මිනිස් ජීවිත විඳවීම්වලින් හෙම්බත්ව පොළවට පස්වීමට වඩා තැනේ හැටියට ඇණගැසීමට දතයුතු බව නොකිවමනා ය.

August 2016 - නිවහල් වෙඩ් අඩවියේ පලවූවකි.

ලාම්පුතෙල් ගඳ - Stench of Kerosene


Amrita Pritam විසින් පන්ජාබි බසින් ලියනු ලැබූ, Sardar Khushwant Singh ji
විසින් ඉංග්‍රීසි බසට පිරිවර්තනය කරන ලද නම් Stench of Kerosene නම් කෙටිකථාවේ සිංහල පරිවර්තනයකි.

නිවෙසින් පිටත නැඟුණු වෙලඹගේ හේෂාරව හඬ ගුලේරි හඳුනාගත්තාය. වෙළඹ ගෙන එන ලදුව තිබුණේ ඇයගේ දෙමාපියන්ගේ ගමෙනි. තම පියාගේ නිවසේ දොර යැයි සිතාගත් ඇය, ඇගේ හිස වෙළඹගේ බෙල්ලට හේත්තු කළාය.
ගුලේරිගේ දෙමාපියන් ජීවත්උනේ චම්බා නම් ග්‍රාමයේ ය. ඇගේ සැමියාගේ නිවසේ සිට සැතපුම් කිහිපයක් එහායින් උස ස්ථානයක් තිබුණි. එතැනින් එපිට වූයේ දළ බෑවුමකි. එකසීරු බැස්මත් සමඟ මාවත වක ගැසී තිබුණි. එතැන් සිට බලන්නෙකුට තමන්ගේ පය පාමුල සිට දිගට පැතිරීගිය චම්බා දැකිය හැකි විය. ගුලේරිට නිවස මතක්වෙන සෑම විටම ඇය ඇගේ සැමියා වන මනක් සමඟින් මෙතැනට නැඟීම කළාය. හිරු එළියේ දීප්තියෙන් බබළන චම්බා නිවාස දකින ඇය ආපසු පැමිණියේ අභිමානයෙන් ඇගේ හදවත උණුසුම් කරගනිමිනි.
අස්වැන්න එකතුකිරීමෙන් පසු වසරකට වරක් ගුලේරිට ඇගේ දෙමාපියන් සමඟ දින කීපයක් ගතකරන්නට අවසර ලැබුණි. නැවත ඇයව චම්බා වෙත රැගෙන ඒමට ඔවුන් ලකර්මන්ඩිය වෙත මිනිසෙකුව යවනු ලැබූහ. චම්බාවෙන් බැහැරට විවාහ වී ගිය ඇගේ යෙහෙළියන් දෙදෙනෙක්ද මේ කාලයේදී ම ඔවුන්ගේ නිවාස වලට පැමිණියහ. කෙල්ලන් තිදෙන මේ වාර්ෂික හමුවීම පුල පුලා බලාසිටියේ ඔවුන්ට එක්ව පැය ගණන් ඔවුන්ගේ අත්දැකීම්, ඔවුන්ගේ සතුට සහ ඔවුන්ගේ දුක්ඛදෝමනස්සයන් හුවමාරු කරගැනීමටයි. ඔවුන් එක්ව වීදි දිගේ ගමන් කළහ. ඒ සමඟම පැවැත්වුණේ අස්වනු නෙළීමේ උත්සවයයි. කෙල්ලන්ට උත්සවය සඳහාම අලුත් ඇඳුම් ලැබුණි. ඔවුන් ඔවුන්ගේ සළුවලට කැඳ දමා, සායම් කර, දිලිසෙන කුඩුවර්ග ඉස සකසා ගත් අතර, වීදුරු වළලු හා රිදී තෝඩුද මිලට ගත්හ.
ගුලේරි නිතිපතාම අස්වැන්න නෙළීමේ කාලයට දින ගැන්නාය. ඒ පමණක් ම නොව, සරත් සමයේ මඳ සුළඟ, මෝසම් වළාකුළුවලින් බරිත අහස නිරවුල් කරද්දී ඇය ඇගේ චම්බාහි නිවස ගැන ඩිංගක් හෝ සිතුවාය. ගවන්ට කෑම දීම, සැමියාගේ දෙමාපියන්ට කෑම පිළියෙල කිරීම වැනි ඇගේ එදිනෙදා ගෙදර දොරේ වැඩ-පලවල යෙදීමෙන් අනතුරුව, පැත්තකට වී තමන් රැගෙන යාමට ඇගේ දෙමාපියන්ගේ ගමෙන් කවුරුන් හෝ පැමිණීමට තව කෙතරම් කාලයක් ගතවේයැයි ගණන් සෑදීමේ යෙදුණාය. නැවතත් ඇගේ දෙමාපියන් දැකබලා ගැනීමේ වාර්ෂික වාරය එළැඹ තිබුණි. වෙළඹව සතුටින් හුරතල් කළ ඇය, ඇගේ පියාගේ මෙහෙකරු වන නාතු හට ආචාර සමාචාර කළ පසු ඊළඟ දිනය වෙනුවෙන් සූදානම් වූවාය.
ගුලේරිගේ මුහුණේ වූ හැඟීම් සියල්ල ඕනෑවටත් වඩා ඇයව පැහැදිලි කරනු ලැබු බැවින් ඇගේ උද්වේගය වචනවලින් විස්තර කිරීමේ අවශ්‍යතාවක් ඇති වූයේ නැත. ඇගේ ස්වාමිපුරුෂයා වන මනක් ඔහුගේ හූකාව (දුම් බීමට භාවිතා කරන්නක්) තල්ලුකොට දමා දෑස් පියාගත්තේය. ඔහු දෑස් පියාගත්තේ දුම්කොළ වලට දැක්වූ අමනාපය නිසාද නැතහොත් හෝ ඔහුගේ බිරිඳට මුහුණ දීමට නොහැකිවීම නිසාදැයි නිශ්චිතවම කිව නොහැකි විය.
ඔයා චම්බාවල සල්පිලට එනවා නේද?”
ඒක එක දවසක් විතරක් උනාට කමක් නැහැ අනේ එන්න,” ඇය බැගෑපත් වූවාය.
මනක් ඔහුගේ චිල්ලුම් පයිපය (දුම් ඉරීමට ගන්නා පයිප්පය) පසෙකින් තැබුවද පිළිවදන් දුන්නේ නැත.
ඇයි ඔයා මට උත්තර නොදෙන්නේ?” ගුලේරි ඇසුවේ තරමක් කේන්තියෙන්.
මම ඔයාට යමක් කියන්නද?”
මම දන්නවා ඔයා කියන්න යන්නේ මොකක්ද කියලා: මම මගේ දෙමාපියන්ගේ ගෙදර යන්නේ අවුරුද්දකට වතාවයි. ඔයා මීට කලින් කිසිදාක නතරකරලා නැහැ මාව “.
එහෙනම් ඇයි ඔයා මේ වතාවේ මාව නතර කරන්න හදන්නේ?” ඇය ප්‍රශ්න කළාය.
මේ වතාවේ විතරක්වත්” මනක් බැගෑපත් විය.
ඔයාගේ අම්මා වචනයක් කිවුවෙ නැහැ. ඇයි ඔයා විතරක් පාර හරස් කරන්නේ?”. ගුලේරි සිටියේ පොඩි දරුවකුගේ හිතුවක්කාර ස්වරූපයෙනි.
මගේ අම්මා…… ” මනක් කියන්නට ආ දෙය නිමා කළේ නැත.
බොහෝ කාලයක සිට පෙරුම්පුරා පැමිණි ඒ උදෑසන, ගුලේරි අරුණෝදයටත් කලින් ම සූදානම් වූවාය. ගුලේරිට දරුවන් නොසිටි බැවින්, ඔවුන් සිය සැමියාගේ දෙමාපියන් වෙත දමා යනවාද නැතහොත් ඇය සමඟ රැගෙන යනවාද යන්න සම්බන්ධයෙන් ඇයට කිසිදු ගැටලුවක් තිබුණේ නැත. ඇය මනක්ගේ දෙමාපියන්ගෙන් සමුගන්නවාත් සමඟම නාතු වෙළඹ මත සැඳෑලය දැම්මේය. ඔවුන් ඇගේ හිත අතගා ඇයට ආශීර්වාද කළහ.
මම ඔයා එක්ක මගක් දුරට එන්නම්“, මනක් පැවසුවේය.
ගමනාරම්භයේ සිටම ගුලේරි සිටියේ මහත් සතුටකිනි. ඇය මනක්ගේ බටනලාව ඇගේ සළුව අස්සේ සඟවා ගත්තාය.
කජියාර් ග්‍රාමයට පසු මාර්ග බැස්ම ප්‍රපාතවූයේ චම්බාව වෙතය. එහිදී ගුලේරි ඇගේ සළුව යටින් ගත් බටනලාව මනක්ට දුන්නාය. ඇය මනක්ගේ අතගෙන, “එන්න, ඔයාගේ බටනලාව වාදනය කරන්න!” යි ඉල්ලා සිටියාය. නමුත් මනක්, ඔහුගේ සිතුවිලි තුල නිමග්නව හුන් බැවින් අවධානයක් නොමැතිව සිටියේය. “ඇයි ඔයාගේ බටනලාව වාදනය නොකරන්නේ?” ඇය ඉච්චාවෙන් ඇසුවා. මනක් ඇය දෙස ශෝකයෙන් බලා, ඔහුගේ දෙතොල් මත බට නලාව තබා, ඉතාමත් අමුතු සංවේගී විලාපාමාත්මක හඬක් වැයීය.
ගුලේරි, යන්න එපා“, ඔහු බැගෑපත් විය. “මම ආයෙත් ඔයාගෙන් අහනවා, මේ වතාවේ විතරක් යන්න එපා“. කතාකරගැන්මට නොහැකිවූ ඔහු බට නලාව නැවත ඇගේ අත මත තැබීය.
ඒත් ඇයි?” ඇය ඇසුවාය. “ඔයා එන්න සල්පිළ දවසට. අපි දෙන්නම ආපසු එමු එකට.
“මම ඔයාට පොරොන්දු වෙනවා, මම නැවතෙන්නේ නැහැ කියලා”.
මනක් ඉන් පසු කිසිවක් ඇසුවේ නැත.
ඔවුන් අතරමග නැවතුණහ. නාතු, යුවළට තනිවීමට ඉඩක් දෙමින් වෙලඹ සමඟ පියවර කිහිපයක් ඉදිරියට පියමැන්නේය. මනක්ගේ මතකටය නැඟුණේ, වසර හතකට ප, වසරේ මෙවැනි ම කාලයක ඔහු, ඔහුගේ මිතුරන් සමඟින් චම්බා අස්වනු මංගල්‍යයකට සහභාගී වීම සඳහා මේ මාර්ගයේම ගිය අයුරුය. එකලද, මේ සල්පිළේදී ම ප්‍රථම වතාවට ගුලේරිව දකින මනක් ඔවුන්ගේ හදවත් එකිනෙකාට හුවමාරුකරගෙන තිබුණි. පසුව, තනිව මුණගැසීමට ඉඩ හසර පාදාගත් දිනෙක, ඇගේ අත ගෙන, “ඔයා හරියට ළපටි බඩ ඉරිඟු කරලක් වගෙයි, කිරි වලින් පුරෝදාල” යැයි පවසනු ඔහුගේ මතකයට නැඟුණි.
හරක් යන්නේම ළපටි බඩ ඉරිඟු කරල් හොයාන“, එවිට ගුලේරි තම අත ගසාදමමින් පවසා තිබුණි. “මිනිස්සු වැඩිය කැමති ඒක පුච්චල කන්න. ඔයාට මාව ඕනෙනම්, ගිහින් මගේ තාත්තාගෙන් මාව ඉල්ලන්න“.
මනක්ගේ නෑදෑ චාරිත්‍රයන්ට අනුව මනාලයාගේ දෑවැද්ද විවාහ උත්සවයට ප්‍රථම ලබාදිය යුතුවෙයි. මනක් තරමක ව්‍යාකූල වූ අතර ගුලේරිගේ පියා ඔහුගෙන් කොතරම් ගණනක් ඉල්ලාවි ද යන්න ඔහුට නිශ්චය කරගැනීමට නොහැකිවිය. නමුත්, ගුලේරිගේ පියා ධනවත් පුද්ගලයෙක් වූ අතර, වෙනත් නගරවලද වාසය කොට තිබූ අයෙක් විය. ඔහු දිවුරා තිබුණේ ඔහුගේ දියණියගේ විවාහයෙන් මුදල් නොගන්නා මුත්, ඇයව හොඳ පවුලක ධනවත් තරුණ පුරුෂයෙකුට විවාහ කරදෙන බවය. මනක් තම මාමාගේ අවශ්‍යතා සපුරා ලූ විගසම ඔවුන් විවාහ වූහ. මතකයන් අතරේ ගිලී සිටි මනක් ඉන් මිදුනේ ගුලේරිගේ අත ඔහුගේ උරහිස වටා එතෙනු දැනුණු විටදීය.
මොනව ගැනද ඔයා හීන මවන්නේ?” ඇය ඔහුට ඔච්චම් කළාය.
මනක් මුනිවත රැක්කේය. වෙලඹ නොඉවසිලිමත්ව ශබ්ධ නගන්නට වූ කල, ගුලේරි තමන්ට යාමට ඇති ගමන ගැන කල්පනා වී නික්ම යාමට නැගී සිටියාය. ” ඔයා දන්නවද මෙතනින් හැතැක්ම කීපයක් එහායින් තියෙන බ්ලූබෙල් මල් කැලෑව ගැන“? ඇය ඇසීය, ” ඒක මැදින් ගිය කෙනෙක් බිහිරි වෙනවා කියලා කතාවක් තියෙනවා“.
ඔවු“.
මට පේන හැටියට ඔයාත් බ්ලූබෙල් මල් කැලෑ මැදින් ගිහින් වගෙයි; ඔයාට මම කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ“.
ඔයා හරි, ගුලේරි. මට ඔයා කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ” මනක් දිගු සුසුමක් සමඟ පිළිතුරු දුන්නේය.
දෙදෙනාම ඔවුන්ගේ මුහුණු දෙස බැලීය. අනෙකාගේ සිතුවිලි කිසිවක් අවබෝධ කරගැනීමට දෙදෙනාටම නොහැකි විය.
මම දැන් යන්නම්. ඔයත් ගෙදර ගියොත් හොඳයි. ඔයා හුඟාක් දුර ඇවිල්ලා“, ගුලේරි අවංකවම පැවසීය.
ඔයා මේ දුරම පයින් ආවේ. වෙළඹගේ පිට නැග්ගනම් හොඳයි“, මනක් පිළිවදන් දිනි.
ආ, ඔයාගේ බට නලාව ගන්න
ඒක ඔයා අරගෙන යන්න
ඔයා සල්පිල දවසට ඇවිල්ලා මේක වාදනය කරනවාද?” ගුලේරි සිනාවකින්ම ඇසුවා. හිරු ඇගේ දෑස්වලින් දිලිසෙන්නට ගත් බැවින් මනක් ඉවත බලාගත්තේය. ඉන් ව්‍යාකූලව ගිය ගුලේරි උරිස් ගසා දමා චම්බා බලා පිටත්ව ගියාය. මනක් ඔහුගේ නිවස වෙත ඇදුණි.
නිවෙසට ඇතුලුවී ඔහුගේ චාපෝය (ඉන්දියානු මිටි ඇඳකි.) වෙත ඇද වැටුණේ උදාසීන ලෙසිනි.
උඹ හුඟ වෙලාවක ඉඳන් නැහැ“, ඔහුගේ මව කෑගෑවාය. “උඹ චම්බා වලටම ගියාද?”
දිගටම ගියේ නැහැ; කන්ද උඩට එනකම් විතරයි ගියේ“. මනක්ගේ හඬ රළු විය.
මොකද උඹ නාකි ගෑණියෙක් වගේ කරවු කරන්නේ“, ඔහුගේ මව සැරෙන් ඇසීය.
මිනිහෙක් වෙයන්“.
අම්මත් ගෑණියෙක්නේ; වෙනසකටත් එක්ක ටිකක් අඬන්නේ නැත්තේ ඇයි!” මනක්ගේ යටි සිත එය කෑ ගසා ඇසූවද ඔහු තවදුරටත් නිහඬවම සිටියේය.
මනක් සහ ගුලේරි විවාහ වී සත්වසක් පිරුණද, ඇය ඔහුට දාව දරුවකු බිහිකරන්නට සමත් නොවීම නිසා මනක්ගේ මව රහස් අධිෂ්ඨානයකට පැමිණියාය: “මම ඕකනම් අටවෙනි අවුරුද්දෙන් එහා ගෙනියන්න දෙන්නේ නැහැ“. මේ වසරේදී, ඇගේ තීරණය සනාථ කරමින්, ඔහුට දෙවන බිරිඳක් ගෙන ඒම පිණිස ඇය රුපියල් 500ක් ගෙවා තිබුණාය. මනක් මේ පිළිබඳව දැනසිටි බැවින්, නව බිරිඳ නිවසට ගෙන ඒමට ඇය ඇඟිලි ගන්මින් සිටියේ ගුලේරි ඇගේ දෙමාපියන් වෙත යනතෙක්ය.
චාරිත්‍රානුකූලව විය යුත්තක් බැවිනුත් ඔහුගේ මවට කීකරුවීමට සිදුව ඇති බැවිනුත් මනක්ගේ ශරීරකූඩුව නව ගැහැණියට ප්‍රතිචාර දැක්වීය. එහෙත් ඔහුගේ හදවත ඔහුතුල ම මියගොස් තිබුණි.
එක් දිනක උදය කාලයේ මනක් ඔහුගේ චිලුමෙන් (දුම් බොන උපකරණයකි) දුම් බොමින් සිටියදී පැරණි මිතුරෙක් ඔහු පසුකර යමින් සිටියේය. “ආහ් භවානි, කොහේද මේ යන්නේ උදේ පාන්දර?”
භවානි නතර විය. ඔහුගේ උරයේ පුංචි පොදියක්ද විය. “විශේෂ ගමනක් කියලා නැහැ“, ඔහු කපටි ලෙස පිළිවදන් දිනි.
උඹ කොහේහරි යන ගමන් තමා“, මනක් කෑ ගැසීය “මොකද කියන්නේ, දුමක් උරනවාද?”
භවානි උක්කුටියෙන් වාඩිවී මනක්ගේ අතින් චිලුමය ගත්තේය. “මම යනවා චම්බා සල්පිලට“, අවසානයේ ඔහු කියාදැම්මේය.
භවානිගේ වචන, ඉදිකටුවෙන් විදින්නාක් මෙන් මනක්ගේ හදවත සිදුරු කළේය.
අදද සල්පිළ?”
හැම අවුරුද්දෙම එකම දවසෙනේ“, භවානි කර්කෂ ලෙස පිලිතුරු දුන්නේය. “මතක නැද්ද, අපි එකම කාණ්ඩෙ‍නෙ උන්නේ අවුරුදු හතකට කලින්?”. භවානි ඉන් එහාට වචනයකුදු නොදෙඩුවද මනක් අනෙකාගේ තරවටුව සම්බන්ධයෙන් සවිඥානික වූ බැවින් ඔහු නොසන්සුන් විය. භවානි චිලුම තබා ඔහුගේ පොදිය ගෙන නැඟී සිටියේය. ඔහුගේ බටනලාව පොදියෙන් පිටතට පැන තිබුණි. මනක්ගෙන් වෙන්වයාමට ආචාරකොට, ඔහු යන්නට ගියේය. භවානි නොපෙනීයන තෙක්ම මනක්ගේ ඇස රැඳී තිබුනේ පොදියෙන් පිටතට පැන තිබූ බට නලාව වෙත පමණි.
පසුදා සැන්දෑවේ කුඹුරේ වැඩකරමින් සිටි මනක් භාවානි නැවත පැමිනෙමින් සිටිනබව දැක හිතාමතාම වෙනතක් බලාගත්තේය. ඔහුට භවානි සමග කථාකිරීමට හෝ සල්පිළ සම්බන්ධයෙන් කිසිදු දෙයක් ඇසීමට අවශ්‍ය නොවිණි. එහෙත් භවානි අනෙක් පසෙන් පැමිණ මනක් ඉදිරිපිට වාඩිගත්තේය. ඔහුගේ මුහුණ දුකෙන් පිරී තිබුණු අතර අළු මෙන් ආලෝකයෙන් තොර විණි.
ගුලේරි මැරිලා“, භවානි නීරස හඩකින් පැවසීය.
මොකක්?”
ඇය උඹේ දෙවැනි කසාදෙ ගැන දැනගත්තාම, ඇඳුම්වලට භූමිතෙල් හලාගෙන ගිනිතියාගෙන“.
මනක්, වේදනාවෙන් ගොළුවී ගියේය, දෑස නොසෙල්වා බලා සිටි ඔහුට දැනුනේ ඔහුගේ දිවියම ගිනිගත් බවකි.
දින සති ගෙවී ගියේය. මනක් ඔහුගේ කුඹුරේ වැඩකටයුතු නැවත පටන් ගත් අතර, ඔහුගේ ආහාර ඔවුන් දුන්විට ගිල දැමුවේය. එහෙත්, ඔහු මළ මිනිසෙකුට සමාන විය, ඔහුගේ මුහුණ හිස් වූ අතර, දෑස් බොල් විය.
මම එයාගේ බිරිඳ නෙවෙයි“, “මම නිකම්ම නිකම් එයාට විවාහ වෙන්න සිද්ධ වෙච්ච කෙනෙක් විතරයි“. මනක්ගේ දෙවැනි බිරිය චෝදනා කළාය.
නමුත් ටික කලක් ගතවීමට ප්‍රථම ඇය ගැබ්ගත් අතර මනක්ගේ මව ඇගේ නව ලේලිය පිළිබඳව අතිශය සතුටට පත්වූවාය. ඇය මනක්ගේ බිරියගේ තත්වය ඔහුට පැහැදිලි කළද, ඔහුගෙන් දක්නට ලැබුනේ කිසිදු දෙයක අර්ථය පැහැදිලි නොවූවෙකුගේ මුහුණකි. ඔහුගේ දෑස තවදුරටත් හිස්බවේම ගිලීගොස් තිබිණි.
තම සැමියාගේ විධිය තව ටික දිනක් ඉවසන මෙන්, ඔහුගේ මව ඇගේ ලේලියව උනන්දු කළාය. “දරුවා ඉපදිලා තාත්තගේ උකුළෙන් තිබ්බාම ඔව්වා හරියාවි” ඇය පැවසුවාය.
නිසිකල පැමිණීමෙන් මනක්ගේ බිරිඳ පිරිමි දරුවෙක් පුසූත කළාය; සතුටින් උද්දාමයට පත්වූ මනක්ගේ මව දරුවා නහවා, සුසිනිඳු ඇඳුම් අන්දවා මනක්ගේ උකුල මත තැබීය. මනක් තම උකුලේ ඉන්නා දරුවා දෙස ඇස් අයා බලා සිටියේය. ඔහු බොහෝ වේලාවක් දරුවා දෙස බලා සිටියද, ඔහුගේ හැඟීම් අවබෝධයෙන් තොරවූ අතර, ඔහුගේ මුහුණ වෙනදා මෙන්ම කිසිදු හැඟීමක් පළ නොකලේය. එක්වරම මනක්ගේ හිස්වූ දෙනෙක් භීතියෙන් පිරී‍ගොස්, ඔහු කෑ මොර දෙන්නට පටන්ගත්තේය.

මේකව අරගෙන යනවා!”
ඔහු පිස්සුවෙන් කෑමොර ගැසුවේය.
මේකව අරගෙන යනවා! මේකා භූමිතෙල් ගඳයි“.

August 2016 - නිවහල් වෙබ් අඩවියේ පලවිය

කුහක සිංහලකම - Deceitful Sinhalese

මම පුංචි කාලෙ අපේ ගමේ දෙමළ පවුලක් උන්නා. මුලු ගමම ඔවුන්ට විරුද්ධ වෙද්දි අපේ අම්මා ඔවුන් වෙනුවෙනුවෙන් කථා කළා. ඒ ගෙදරට ආවා ගියා. ඔවුන්ගේ දුකට පිහිට වුණා. කුඩා කාලෙ මං ඒ ගෙදර ගියා අම්ම එක්කල. ඒක වෙනම ලෝකයක්. ගෙදර කටුමැටි. කලුවරේට තිවුණ එක කාමරෙයි දීග සාල කෑල්ලයි පොඩි කුස්සි පොඩ්ඩකුයි විතරයි. බිම ගොම මැටි ගාල එක වැලි කැටයක් නැහැ. වහලෙ එල්ලපු සාරි තොටිල්ලෙ හෙළු කුටු අත දරුවෙක් එහෙට මෙහෙට නළවුණා. ඉනේ පබලු මාලෙකුත් නළලෙ තඩි පොට්ටුවකුත් තිබුණ ඒ ළමයව මට අද වගේ මතකයි. ඒ ගේ පුරා තිබුණෙ දෙමළ පුසුඹ. මරතොණ්ඩි ගාල බිම ගෑවෙන නොගෑවෙන්න තිබුණ කොණ්ඩෙ ගෙඩියට බැඳල සාරියක් ඇඳල උන්න දෙමළ ආච්චි අපිට මහා දයාවක් පෑව. ඈට තිබුණ හරි අගේ ඇති හිනාවක්. හතිය හැදිල අමාරුවෙන් හුස්ම ගද්දිත්, විට කාල රතු වුණු තොල් විහදල කට පුරා හිනාවෙද්දි ඒ හඬ දෝංකාර දුන්න. ගස් වල බැඳල තිබුණ කුකුළු ගෙවල් හැංදෑවට කුකුළන් එක්කම උඩ යනව බලන්න වගේම, ගෙදර ගෑණු වැඩිහිටි පිළිවෙලට දිග කොණ්ඩ ලෙහා දාල පෝලිමට එක එකාගෙ උකුණො බලන දකින්නත් මං ඒ කාලෙ හරි කැමතියි. දෙමළ ආච්චිගෙ කෑම පුසුඹ හැමදාම හුළඟට අපේ නාහවලට කඩා පැනල අපේ බඩ ගින්න වැඩි කළා.
ඉන්පස්සෙ දෙමළ කියන නාමයත් එක්ක මං උන්නෙ ඒ හැටි කැමැත්තකින් නෙමෙයි. ඒකට බොහොම පසු කථා තිබුණ හන්ද වෙන්නැති. කොහොමින් හරි මගේ උසස් පෙළ අධ්‍යාපනය මට මගේ දෙමළ යෙහෙලිය මුනුගැස්සුව. ඇගේ නම මතක නැතත් ඇගේ කලු උස දේහදාරී ශරීරෙත් කලුම කලු දිග තඩි කොණ්ඩෙත් මට හොඳට මතකයි. එයා යාපනේ දෙමළ. කළබල හන්ද එයාල කොළඹ ඇවිල්ල තිබුණෙ. එයාගේ ගේ කඩා වැටුණ හැටිත්, එහේ සතුටින් කල දවස ගෙවපු හැටිත්, අම්මගෙ සංගීත භාණ්ඩ කෑලි කැඩිල දකිද්දි අඬා වැටුණ හැටිත් එයා මට ඒ කාලෙ කිවුව. මං අහං උන්න.
මගේ පළවෙනි මුස්ලිම් යාලුව හම්බෙද්දි මට අවුරුදු 23ක්. ඔහු මගේ අතීසාර මිතුරෙක් වෙලා උන්නා. මාව ඉස්ඉස්සෙල්ලාම සයිවර කඩයකට ඇඳගෙන ගිහින් ඇල්මේනියං උස කෝප්පෙක දිග තේ එකක් බොන්න අවස්ථාව හදල දුන්නෙ ඔහු. මුස්ලිම් ජාතිකයන් කවුද, එයාලගෙ ජීවිතේ ගෙවෙන හැටි, රුචි අරුචිකම්, ආගමේ ඇත්ත ස්වරූපය විතරක් නෙමෙයි චාරිත්‍ර වාරිත්‍ර ගැන පවා තොරතුරු මගේ මිත්‍රය මා එක්ක හුවමාරු කරගත්තම. ඔහු අන්තවාදියෙක් නොවුණ වගේම මැදහත් සිතින් දේවල් දකින එ වගේම බොහොම විවෘත හදවතක් ඇත්තෙක්. දැන් පවුල් පන්සල් වෙලා ළඟ ඇසුරක් නැතත් අපි තාමත් හොඳ මිතුරන්.
පමා වෙලා ගෙදර යන්න වුණ දවස්වලට රෑ එන්න තිබුණ දෙමළ කෝච්චිය අප්‍රසන්න උනත්, සිකුරාද දවස්වලට පිට කොටුවෙ මුස්ලිම් වැඳිල්ල හන්ද අප්‍රසන්න උනත් මං ඔවුන්ගේ සමාගම හැමදාම ප්‍රිය කළා.
අද හමුවුණ මැදිවියේ දමිල මිත්‍රයා මට මගේ අතීත මිත්‍ර සමාගමයන් ආපහු මතක් කළා. ඔහු නැගහිර පළාතේ කෙන්යා පාලම ළඟ වෙසෙන්නෙක්. ඒ පලාතෙම එකම එක මනුස්සයෙක්වත් සිංහල කථා නොකළත් ඒ මිත්‍රයට කැඩිච්ච සිංහලෙන් යමක් කියාගන්න පුලුවන් වෙච්ච එක මොන තරං වාසනාවක්ද? ඒ අතින් මං හරිම දුප්පත්. මට දෙමළ වචන දෙක තුනකට වැඩිය බෑ මේ තරං කාලයක් දෙමළ යාලුවො ඇසුරු කරලත්. එහෙම උනානං තව කොයිතරං දේවල් කථා කරලා දැන ගන්න තිබුණද?
''මං නැගනහිරට කවදාවත් ගිහිං නැහැ. එහේ ලස්සනද?'' මං ඇහුවා.
''දවසක ඇවිත් යන්න එන්න. එහේ ගමට ගිහින් කාල ඉඳල බලල එන්න පුලුවන්''.
සිංහල මං මොනතරං කුහුකද කියල හිතුණ ඇත්තටම!!

October 2016

යල් පනින ජීවන සුවඳ - geriatric life styles


මග තොටේ ඇවිදිද්දි දන්නා අඳුරණ සුවඳවල් පස්සේ ඉව වැටිලා අතීත සිදුවීම් එක්ක ගවු ගනන් දුර ගිය අවස්ථා මගේ ජීවිතේ ඕන තරං තියෙනවා. ආවෙ කොහෙන්ද කියල හොයා ගන්න බැරිව හතර අතේ කැරකෙනවා. ඒවා ජීවිතේට එන සුන්දර අහම්බයන්. ආපහු ජීවිතේ ගැන නැවතිලා හිතන්න නිකම්ම පොළඹවනවා. සමහරවෙලාවට හදිස්සියේ කඩා වදින ඒ සුවඳවල් අපිව අල්ලලා පොළොවෙ ගහනවා.
ඉර අවුවට මහ පොළව පිච්චුණාම පස් දූවිලි වෙලා යනවා. ඒත් අල්ලන පලවෙනි වැහි පොදෙන් පස්සෙ පිච්චුන මහපොළොවෙන් එන නැවුම් සුවඳ මොන තරම් ආස්වාදජනකද? ඒ සුවඳ හැමදාමත් හිතට එකතු කරන්නේ සතුටක්. වැහි බිංදු හන්දා පණගහල එන ගස් කොළන් වගේම. අපි මොනතරම් වතුර දැම්මත් ඔහේ බිම බලාන ඉන්න කොළ, වැහි බිංදුවක් වැටුණ සැනින් දනි පණිගාල නැගිටල එනව. සුන්දර වෙනසක් පරිසරය පුරාම ඇති කරනව මහා පුදුමාකාර විදිහට.
කුඹුරක් හානකොට පෝරු ගානකොට එන මඩ සුවඳ නාහෙ ඇකිලුවත්, පැළ ගොයමෙන් එන සුවඳ හිතේ බලාපොරොත්තු ඇති කරනවා. උදේ පාන්දර ඒ අමුතු සුවඳ හරියට අලුත උපන් දරුවෙකුගෙන් එන කිරි සුවඳ වගෙයි. හිනාවක් ඇඳිලා යනව කිසිම කිසි හේතුවක් නැතුවම.
යෞවනයත් එක්ක එන තරුණ සුවඳ පරද්දන්න කිසිම පර්ෆියුම් එකකට තාමත් බැරි උණා කියලයි මට නං හිතෙන්නෙ. ඒක හරියට කිරිවැදුණු කුඹුරකින්, නාහෙ කඩාගෙන ඇවිදින්, හද නහර පිනා යන සුවඳ හා සමානයි. කාලෙත් එක්ක ඇතිවෙලා කාලෙත් එක්කම අපූරුවට නැතිවෙලා යනවා හැබැයි ඒ සුවඳ. ආවෙ කවද්ද නැතිවුණේ කවද්ද කියලවත් නිච්චි නැතුවම. බොහොම ජරා විදිහට.
අන්තිමට ශරීර කූඩුවෙන් එන්නෙ නාකි ගඳ. කොච්චර හේදුවත් මැරෙනතුරු අරින්න බැරි ඒ ගඳ. ඒක හරියට ඉපනැල්ල ඉතිරි වුණ කුඹුරෙ කුයිලෙත් එක්ක හරියට ගැලපිලා යනවා. මන්ද, මගේ නාහෙ වැරුද්දක්ද කියලා. ‘ඒත් දැන් අපි ළඟ, කුකුල් කොටුවක් වගේ ගඳ යි’. ෆ්ලොරෙන්තිනෝ අරීසා එක්ක නිදි වැදුණු වැන්දඹු නසරත් එහෙම කිවුවෙ නිකම් නෙමෙයි හැබැයි. නාකි ගඳ හින්දම වෙන්නැති.

October 2016