කලක් මගේ සමීප මිතුරෙක් අතිශයින් භක්තිමත් ‘බෞද්ධයෙක්ව’ සිටියේය. හේ දෙවේල බුදුන් වැන්ඳේය. සෑම පෝයටම පන්සල් ගියේය. බෝධි පූජා තැබීය. ගාථා සියල්ල කීවේය. බණ ඇසුවේය. කලක් ඔහු දැඩි මානසික පීඩනයකින් පෙළුණ බැවින් එකල පිරිත්පැන් සුරයක් පවා පැළඳීය. බෝධියේ වැලිගෙනවිත් ගෙය වටා ඉස්සේය. හේ වචනයකින් හෝ තම භක්තිය අහිමිකර නොගත්තේය.
හදිසියේ ඔහු කලකට අතුරුදන් විණි. කිසිදු හෝඩුවාවක් සොයාගත නොහී කාලය ගෙවී ගියේය. වසරකට ආසන්න කලකදී නැවත මට ඔහු හමුවන විට හේ අතිශයින් වෙනස් පුද්ගලයෙකුව සිටියේය. ඔහු උසස් අද්‍යාපනයට අත ගසා තිබුණු අතර, තම දිවිය සරල රේඛාවකට ගෙන තිබිණි. ඇත්තෙන්ම ඔහු සතුටින් සිටියේය. මේ වෙනසට හේතුව ලෙස ඔහු කියා සිටියේ තමා දැන් සෑම අඟහරුවාදා දිනකම කොච්චිකඩේ පල්ලියට යන බවත්, එහි ඇති ‘අනුසස්’ නිසා ඔහුගේ දිවියට වාසනාව සහ සාමය පැමිණි බවත්ය. නැවත ඔහු අතිශය භක්තිමත්ව සිටියේය. නොකඩවා පල්ලි ගියේය. දිනකට දෙවරක් යාච්ඤා කළේය. තම නිවසේ දෙවියන්ට තැනක් ලබාදී පහන් පත්තු කළේය. සියල්ල ආගමට අනුව වෙනස්කොට තිබිණි.
‘’ආගම වෙනස්කරන්න හේතුව මොකක්ද?’’ මම විපිලිසරව ඔහුගෙන් විමසීමි.
‘’මම ‘හොඳ’ බෞද්ධයෙක් වෙලා අවුරුදුගානක් උන්නා. වැඩක් නෑ. මට මොනවද බුදුන් දුන්නේ?
ඒත් පල්ලි යන්න අරං මාස හයෙන් මට හුඟක් දේවල් ලැබුණා’’. මම නිහඬ වීමි.
ඔහුට තිබුනේ හිංදු ආගම ඇදහීම ඇරඹීමට යැයි මට සිතේ. ඒ ඒ කාරණයට විශේෂඥ වූ දෙවිවරු වැඩ සිටින බැවින් මගේ මිතුරාගේ අවශ්‍යතා සියල්ල එක් මසකින්ම සපුරා ගැනීමට ඉඩ තිබිණි.
‘’මම ‘හොඳ’ බෞද්ධයෙක් වෙලා අවුරුදුගානක් උන්නා. වැඩක් නෑ. මට මොනවද බුදුන් දුන්නේ?
ඒත් පල්ලි යන්න අරං මාස හයෙන් මට හුඟක් දේවල් ලැබුණා’’. මම නිහඬ වීමි.
ඔහුට තිබුනේ හිංදු ආගම ඇදහීම ඇරඹීමට යැයි මට සිතේ. ඒ ඒ කාරණයට විශේෂඥ වූ දෙවිවරු වැඩ සිටින බැවින් මගේ මිතුරාගේ අවශ්‍යතා සියල්ල එක් මසකින්ම සපුරා ගැනීමට ඉඩ තිබිණි.
මෙය කොච්චිකඩේ පල්ලිය ගැන විස්වාසය ඇතිකිරීමක් හෝ පහර ගැසීමක්ද නොවේ. මගේ ප්‍රිය මිත්‍රයා විවේචනය කිරීමක්ද නොවේ. තමා කැමති ආගමක් විස්වාස කිරීමේ අයිතිය ඕනෑම පුද්ගලයෙකුට හිමිය. ඒ ගැන විවාදයක් නොමැත. එහෙත් 70%ක් පමණ වූ ‘බෞද්ධයන්’ සිටින්නේ කොතැනකද? සෝවාන්වීම හෝ නිවන්යෑම කෙසේ වෙතත් ඉතාමත් හරවත් බෞද්ධ දර්ශනය අවබෝධකරගැනීමක් හෝ නොකරමින් එය විකෘතිකරගැනීමෙන් අයාලේ යන්නන් පිරිසක් බිහිවීම නොවේද?
මේ ‘බෞද්ධයෝ’ බුදුන්ගෙන් සතුට ඉල්ලති. සාමය ඉල්ලති, ධනය, බලය, සාර්ථකත්වය, සැප සනීපය ඉල්ලති. සියලු බෞතික දේවල් ඉල්ලා පුද පූජා කරති. බුදු පිළිම, පන්සල්, ආරාම වෙනුවෙන් මිල මුදල් යොදවති. චීවර මිටි ගනන් පුදති. ගස් ගල්වලට ඒවා අන්දවති. මල් ලක්ෂ ගනන් පුදති. නොවක් පහන් දල්වති. කෙලවරක් නැතිව බෝගස් නහවති. පිරිත් තුන් වරුවටම අසති. කවි බන සහ වැදි බන (අරක්කු බොන්න එපා, සිගරැට් බොන්න එපා, සංඝයාට හරියට දානය දෙන්න වැනි බන) සොයා යමින් මහත් අභිරුචියෙන් සවන් දෙති. සෝවාන් වීමේ පරම අභිලාෂයෙන් කෙලවරක් නැති අසපුවල කෙටි කාලීන පාඨමාලා හදාරති. වැරදි පාරේ ලහි ලහියේ ගමන් යති. ලෝකය කඩා වැටෙනවා යයි කියමින් කැලය කඩා බිඳිමින් දිවූ හාවාගේ කථාව සිහියට එන්නේ මේවා දෙස පසෙකින් හිඳ බලා සිටීමෙනි.
සැබැවින්ම ‘බෞද්ධයන්’ කියාගන්නා මේ පිරිසට අවශ්‍ය වන්නේ කුමක්ද? තම ජීවිතයේ එක් උරයක එල්ලාගෙන ඉන්නා බෞතික මල්ලේ සමබරතාවය පවත්වාගැනීමට නොපෙනෙන සෙවනක් නොවේද? ඉඳින් කිසිවක් නෑසෙන බුදුන්වහන්සේගේ පිළිරුවක් මේ ඉල්ලීම් සියල්ල ලබාදෙන්නේ කෙසේද?
තරමක් හෝ සතුටට කාරණාවක් ලෙසින්, බෞද්ධ දර්ශනය නිවැරදිව හදාරා යහපත් චේතනාවෙන් එය සමාජගත කිරීමේ මහගු කාර්යයට වියපත් භික්ෂූන් කිහිප නමක්, තරුණ භික්ෂූන් පිරිසක් සමඟින් එක්ව කටයුතු කරනු පෙනේ. එහෙත් අවාසනාව වන්නේ ඔවුන්ට ඒ සඳහා පුලුල් මගක් නොමැති වීමය. සියලු මාධ්‍ය මගින් වැදි බන උඩදමමින් ප්‍රචාරය කරතත්, බෞද්ධ දර්ශනය මාකට් කිරීමේ ඇති අපහසුතාවය නිසාවෙන් මේ අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගොස් තිබේ. එසේ වුවත්, නිවැරදි බෞද්ධ දර්ශනයේ වටිනාකම අවබෝධකරගත් සුලුතර පිරිස එය අවබෝධකරගැනීම උදෙසා සොයා යෑම, වෙහෙසීම සහ පිහිටා සිටීම හොඳ ප්‍රවනතාවයකි. ඒ ඔවුන් හුදු ‘බෞද්ධයන්’ නොවන නිසාවෙන් විය හැකිය!